06.03.05 – සරල සංකීර්ණ අයන සහ සං‍යෝග නාමකරණය

0
360
  • එකසර ඉලෙක්ට්‍රෝන යුගල සහිත අණුවක් හෝ අයනයක් තමා සතු එකසර ඉලෙක්ට්‍රෝන යුගලය ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රභේදයක් සමග හවුලේ තබාගෙන සංගත බන්ධනයක් ගොඩනගා ගැනීමෙන් සාදන අයනයකට සංකීර්ණ අයනයක් යැයි කියනු ලැබේ.
  • සංකීර්ණ අයනයක් යන්න පහත ආකාරයටද හඳුන්වාදිය හැකිය.

කිසියම් අණුවක හෝ අයනයක එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් සහිත කාක්ෂිකයක් ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රභේදයක් හිස් කාක්ෂිකයක් සමග අතිච්ඡාදනය වීමෙන් සංගත බන්ධනයක් ගොඩනගා ගැනීමෙන් සාදන අයනයකට සංකීර්ණ අයනයක් යැයි කියනු ලැබේ.

  • d ගොනුවට අයත් මූලද්‍රව්‍යවල අයනයන්ගේ හිස් කාක්ෂික, විශේෂයෙන් ම හිස් d කාක්ෂික පවතින නිසා එකසර ඉලෙක්ට්‍රෝන යුගල සහිත අණු හෝ අයන වලට d මූලද්‍රවයන්ගේ අයන සමග සංගත බන්ධන සාදාගත හැකිය.
  • මෙහිදී සංගත බන්ධන සාදාගැනීම සඳහා ඉලෙක්ට්‍රෝන යුගල සපයන ප්‍රභේදයට බන්ධ කාණ්ඩය හෙවත් ලිගනය/ලිගන්ඩය යයි කියනු ලැබේ.
  • d ගොනුවේ කැටායන බොහෝ විට සංකීර්ණ අයන සාදන්නේ H2O, CN, Cl, NH3 වැනි ප්‍රභේද සමගය.

සංගත අංකය

  • කිසියම් අයනයකට සංගත කරගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව එහි සංගත අංකය ලෙස හඳුන්වයි.
  • සාමාන්‍යයෙන් සංගත අංකය 6, 4 හෝ 2 වේ.
  • සංකීර්ණ අයන හෝ සං‍යෝග සෑදීමේදී යම් කැටායනයකට සංගත කරගත හැකි ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව පහත සාධක මත රඳා පවතී.
    1. කැටායනයේ ආරෝපණය මත
    2. කැටායනයේ අරය මත
    3. කැටායනයේ ඇති හිස් කාක්ෂික සංඛ්‍යාව මත
    4. බන්ධ කාණ්ඩයේ හෙවත් ලිගන්ඩයේ ස්වභාවය මත
  • සංගත අංකය 6 වන අවස්තාවේදී සෑදෙන සංකීර්ණ අයන අෂ්ටතලීය වේ.
  • සංගත අංකය 4 වන අවස්තාවේදී සෑදෙන සංකීර්ණ අයන චතුස්තලීය හෝ තලීය සමචතුරස්‍රාකාර වේ.
  • සංගත අංකය 2 වන අවස්තාවේදී සෑදෙන සංකීර්ණ අයන රේඛීය වේ.

සංකීර්ණ අයන හෝ සං‍යෝග නම් කිරීම IUPAC නීති භාවිතා කර සිදුකෙරේ.

  • මෙහිදී පලමුව ධන අයනයේ නමද දෙවනුව ඍන අයනයේ නමද ලියනු ලබන අතර නම් දෙක අතර හිඩැසක් තබනු ලැබේ.
  • ලිගන්ඩවල නාම මධ්‍ය කැටායනයේ නාමයට පෙර ලියනු ලැබේ.
  • උදාසීන බන්ධ කාණ්ඩ සඳහා විශේෂිත වූ නාම ඇත.

උදා:

  • H2O – aqua
  • NH3 – ammine
  • CO – carbonyl
  • NO – nitrosyl
  • ඍන ආරෝපිත බන්ධ කාණ්ඩ ඇතිවිට ඒවායේ ඉංග්‍රීසි නමේ අගට ප්‍රත්‍ය යෙදිය යුතුය.
  • Cl¯ – chlorido
  • Br¯ – bromido
  • NO2¯-nitrido
  • H+– hydrido
  • SO42- – sulphato
  • C2O42- – oxalato
  • O2¯ – peroxo
  • CN¯- cyanido
  • SCN¯-thiocyanido
  • OH¯ – hydroxido
  • CO32- – carbonato
  • O2- – oxido
  • NO3¯- nitrato
  • එකම වර්ගයට අයත් බන්ධ කාණ්ඩ කිහිපයක් ඇති විට කාණ්ඩ සංඛ්‍යාව අනුව කාණ්ඩයේ නමට මුලින් උපසර්ගයක් මගින් දක්වනු ලැබේ.
    • 2 – di
    • 3 – tri
    • 4 – tetra
    • 5 – penta
    • 6 – hexa
  • සංකීර්ණ අයනයක් නම් කිරීමේදී සංකීර්ණ කොටස ධන ආරෝපිත හිඩසක් නොතබා තනි වචනයක් ලෙස ලිවිය යුතු අතර මධ්‍ය කැටායනයේ ඔක්සිකරණ අංකය සංකීර්ණ අයනයේ නමට අගින් වරහන් තුළ ලිවිය යුතුය.
    • [Ni(NH3)6]2+ – hexaamminenickel(II) ion
    • [Cu(NH3)4]2+ – tetraamminecopper(II) ion
    • [Cr(H2O)6]3+ – hexaaquacromium(III) ion
  • සංගත කාණ්ඩ කිහිපයක් ඇතිවිට ඒවාගේ නාම ලියන අනුපිලිවෙල වන්නේ එක් එක් බන්ධ කාණ්ඩයේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල දායක කරන පරමාණූවේ නාමයේ ඉංග්‍රීසි අක්ෂර පිලිවෙල සැලකීමෙනි. එක් එක් පරමාණුක බන්ධ කාණ්ඩ වරහන් රහිතව ලිවිය යුතු අතර බහු පරමාණුක බන්ධ කාණ්ඩ වරහන් සහිතව ලිවිය යුතුය.
    • [Cr(OH)(OH2 )5]2+ – pentaaquahydroxidochromium(III) ion
    • [CoCl(NH3)5]2+ – pentaamminechloridocobolt(III) ion
    • [CrCl2(H2O)4]Cl – tetraaquadichloridochromium(III) chloride
  • සංකීර්ණ අයනය ඍන ආරෝපිත වන විට එහි අඩංගු ලෝහයේ නමෙහි අගට “ate “ යන ප්‍රත්‍යය යොදනු ලැබේ.
    • [Fe(CN)6]3- – hexacyanidoferrate(III) ion
    • [CuCl4]2- – tetrachloridocuprate(II) ion
    • K4[Fe(CN)6] – Potassium hexacyanidoferrate(II)
  • උසස් පෙළ විෂය නිර්දේශයට අනුව කැටායනය හෝ ඇනායනයෙන් එකක් පමණක් සංකීර්ණ අයනයක් වන අවස්තා සැළකීම ප්‍රමාණවත් වුවත් කැටායනය හෝ ඇනායනය දෙකම සංකීර්ණ වන අවස්තාවලදී එම අයනවල නාම සම්බන්ධ කිරීමෙන් සම්පූර්ණ සං‍යෝගයේ නාමය සාදාගත හැකිය .
    • [Cu(NH3)4][CuCl4]  tetraamminecopper(II) tertachloridocuprate(II)

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.