අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ නියත ජය සඳහා මඟ

මා දයාබර දුවේ/ පුතේ,

සස්නක සංසද – LearnSteer සාඩම්බර කොටස්කරුවන් වන ඔබ සැම 2021 වසර ආරම්හයේ ලිපියකින් හමුවීමට ලැබීම ගැන උදක් ම සතුටු වෙමි. ඔබ දැනටත් දන්නා පරිදි ඔබ ඉදිරියේ ප්‍රධාන ඉලක්ක 2ක් ඇත. එනම්,

  1. ඉදිරියේදී පැවැත්වෙන අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් ‘A’ සාමාර්ථ 3ක් සහිත ව සමත් වීම.
  2. තමන්ගේ උපරිම දක්ෂතාවය සහ ශක්තිය විභාගයේදී විදහා දැක්වීම.

මෙය ඉතා විශාල මෙන් ම අමාරු අභියෝගයක් බව දනිමි. නමුත් ජීවිතය යනු හුදෙක් ආවාට ගියාට ගලා ගෙන යා යුතු දෙයක් නොවේ. එය මහත් ආයාසයකින් හා පරිස්සමින් සකසා ගත යුතු මහා බලවේගයකි. එය අප සැමගේ ජීවිත සන්ධියයි. එබැවින් දැන් සිට ම ඔබ සැමගේ පූර්ණ කාලීන (100%ක්) කැපවීම, අභීත ව අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහාත්, ඉහත අරමුණු දෙක ඉෂ්ට කර ගැනීම සඳහාත් පමණක් යෙදවිය යුතු ය. මෙහි දී දැනට ඔබ විසින් සිදු කෙරෙන ක්‍රීඩා, විෂය බාහිර ක්‍රියාකාරකම්, සමාජ සංවිධාන වැනි කටයුතුවලින් තාවකාලික ව ඈත් වීම අප උදක් ම අපේක්ෂා කරමු. නැවත විභාග ජය ලබා ගැනීමෙන් පසු ඔබට එම සංවිධානවලට වඩා වැඩි ගෞරවයකින් හා ජවයකින් එකතු විය හැකි ය. එබැවින් උකටලී නොවී, පසු නොබැස, සියලු ම අමතර වැඩවලින් ඉවත් වන්න. තම පූර්ණ කාලීන  කාය ශක්තිය, ජවය හා ආධ්‍යාත්මික ශක්තිය එළඹෙන උසස් පෙළ විභාගය සඳහා ම යොමු කරන්න. එවිට ඉහත අභියෝග දෙක ජය ගැනීම තමන්ට පහසු කාර්යයක් වනු ඇත.

මේ සම්බන්ධයෙන් ඔබ තවදුරටත් ක්‍රියාත්මක වීමේ දී පහත උපදෙස් අනුගමනය කරන්න.

1. විශ්වාසය ගොඩනඟා ගැනීම හා විශ්වාස කිරීම. (To build Faith and Believe)

අපගේ අරමුණ සාර්ථක කර ගැනීම සඳහා ඇති ප්‍රබලතම  අවිය මෙය වේ. එනම් ප්‍රථමයෙන් ඔබ මෙම ජයග්‍රහණය ලබනා බවත්, එය ලබාගැනීම සඳහා ඔබගේ කුසලතාවයන් ප්‍රමාණවත් බවත් අවංක ව ම මුළු හදින් ම ඔබ විශ්වාස කළ යුතු ය. ඔබගේ හැකියාවන් ගැන හෝ මෙම ජයග්‍රහණය ලබා ගත හැකිදෝ…? යන අංශු මාත්‍රයක හෝ සැකයක් ඔබ සිත අහලකවත් නොතිබිය යුතු ය.

සැකය යනු විෂකි! එය දැනට කුඩාවට තිබුණාට පසුව පිළිකාවක් මෙන් ශීඝ්‍ර ව ව්‍යාප්ත විය හැක. එබැවින් සැකයේ බීජය දැන් සිට ම මරා දමන්න. සැකයට තම ආත්මය හා ආධ්‍යාත්ම ශක්තිය යට කර දැමීමට ඉඩ නොදෙන්න. අනිත් අතට ඔබ මෙම මහඟු ජයග්‍රහණය අනිවාර්යයෙන් ම අත්කර ගන්නා බව හෘදයාංගම ව විශ්වාස කරන්න. ඔබ සැම ඉතා ම දක්ෂයෝ වෙති. ඔබ සැමගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය විශිෂ්ට ය. එලෙස ම අමතර හැකියාවන් හා කුසලතාවයන් අතිමහත් ය. පුණ්‍ය බලය අපරිමිත ය. මේ සියල්ල ඒක කේන්ද්‍රීය කොට විභාග ජය සඳහා පමණක් නාභි ගත කළ විට ඔබගේ ජය ඒකාන්ත වෙයි. අනිත් අතට අප සැමගේ ආධ්‍යාත්මික ශක්තියත්, ආශිර්වාදයත් ඔබ සැමට ආලෝකයක් වී ඔබ ව නිසි ඉලක්කයට ගෙන යනු ඇත. අපි අපගේ ජීවිත කාලය තුළ බොහෝ පින්කම් කර ඇත. එහි දී අප සමඟ එකතු වී සිටින සම්‍යක්දෘෂ්ටික, කල්‍යාණ මිත්‍ර, දෙවි බඹ කැලගේ ආශිර්වාදයත් ඔබට හිමි ය. මතක තබා ගන්න. අප මේ යන්නෙ හුදෙක් තනි මඟක නොවේ! මෙය සසර මඟ කෙළවර වන තෙක් ඇති පාරමී පෙළහරකි. දැන් ඔබ ද මෙම අද්විතීය ශක්ති බලවේගයේ කොටස්කරුවෙකි. මෙම මහා ශක්තිය ඔබගේ පිහිට පිණිස විශ්වයේ පවතී. එබැවින් එය උකහා ගන්න.

මේ සඳහා සැමදා නින්දට පෙර ඉහත අභියෝග දෙක සිහි කර ගෙන “එය සාර්ථක වේවා!” කියා තමන්ට ම සෙත් පතන්න. හිතන්න, මෙය දිනපතා (විභාගය තෙක්) කළහොත් තමන්ට එකතු වෙන ආධ්‍යාත්මික ශක්තිය කෙබඳු ද කියා.ඉහත ආකාරයට දිනපතා තම විශ්වාස ශක්තිමත් කර ගන්න. තම විශ්වාසය වැඩි දියුණු කර ගන්න. නියත විභාග ජය සඳහා මෙය ඔබ තබන ප්‍රථම පියවර වනු ඇත.

2. සක්‍රිය පරිකල්පනය (Active Imagination)

ඔබගේ ඉලක්කය සපුරා ගනු සඳහා වන දෙවන කඩයිම මෙයයි. මෙය ඉතා සාර්ථක මනෝවිද්‍යාත්මක උපක්‍රමයකි. ලොවේ බොහෝ දෙනා මෙම ක්‍රියාවලිය මඟින් බොහෝ ජයග්‍රහණ ලබා ගෙන තිබේ.

මෙහි දී කළ යුත්තේ ඔබ ඉතා සාර්ථක ව පාඩම් කරන හැටිත්, අදාළ විෂය කරුණු අන්‍යයන්ට වඩා හොඳට සවිස්තර ව හා පැහැදිලි ව ඔබට මතකයේ රැඳෙන හැටිත් මානසික ව උපකල්පනය කිරීමයි. මෙය හුදෙක් මානසික ක්‍රියාදාමයකි. තව ද, ඉතා ම ප්‍රබෝධයෙන් හා ශක්තිමත් ව ඔබ (උසස් පෙළ) විභාගයට මුහුණ දෙන සැටිත්, විභාග ශාලාව තුළ නොනැවතී ඉතා සාර්ථක ව අදාළ විෂය කරුණු ගොනු කොට ගනිමින් පිළිතුරු ලියන සැටිත් පරිකල්පනය කරන්න. තමා සත්‍ය වශයෙන් ම විභාග ශාලාවේ පරිසරය තුළ සිටිනවා මෙනෙහි කරන්න. මේ ආකාරයට අනාගතයේ ඇති විය හැකි අවස්ථා පූර්වේෂණය කර මනස සකස් කිරීම සක්‍රිය පරිකල්පනයයි. මේ ආකාරයට ඔබේ අනාගතය, ඔබට අවශ්‍ය ආකාරයට සකස්  කර ගැනීමට ඉඩ ලැබේ.

3. සූදානම් වීම හා පෙරහුරුව (Preparation and Practice)

ජීවිතයේ ඕනෑම දෙයක් සාර්ථක කර ගැනීමට නිසි සූදානම හා පෙරහුරුව වැදගත් වේ. ඔබ යමකට නිසි ලෙස සූදානම් වෙනවා යනු එම කාර්යය 50% සාර්ථක ව සිදු කළා වැනි ය. එබැවින් උසස් පෙළ විභාගය සඳහා දැන් සිට ම සූදානම් වන්න. මෙහි දී වැදගත් වන්නෙ විභාගය සඳහා පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කර ගැනීමයි. ළඟක දී කරන ලද පරීක්ෂණයකින් හෙළි වුණ කරුණු අනුව බොහෝ සිසුන් විභාග පාඩම් කර ගැනීමට හා විෂය කරුණු මතක තබා ගැනීමට සමත්කම් දැක්වුවත්, තමන් දන්නා කරුණු විභාගයක දී ලිවීම (Re-produce) අසමත් වෙයි. එය ඔවුන්ගේ සාර්ථකත්වය නිමා කිරීමට හේතු වේ.

එබැවින් විභාගයට පාඩම් කිරීමට ඔබ උනන්දු වන්නේ යම් සේ ද විභාගයට පිළිතුරු ලිවීම සම්බන්ධයෙනුත් මහා පරිචයක් ලැබිය යුතු ය. මේ සඳහා දැන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (දැනට සම්පූර්ණ කර ඇති විෂය කරුණු සඳහා) කරන්න. වේලාව තබා ගෙන නියමිත වේලාව තුළ දී පිළිතුරු ලියන්න. විෂය කරුණු අමතක වූවාට කම් නැත. අමතක තැනක් සටහන් බලමින් නැවත මතක් කර ගන්න. වැදගත් වන්නේ  නියමිත කාලය තුළ ප්‍රශ්නයට පිළිතුරු ලිවීමයි. ඒ අතර (උසස් පෙළ) ප්‍රශ්න පත්‍රවලට ඇස හුරු කරවා ගන්න. ඔබ උසස් පෙළ සඳහා යන විට අවම වශයෙන් තුන් වරක්වත් පසුගිය අවුරුදු 5ක ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලියා සම්පූර්ණ කර තිබිය යුතු ම ය. එබැවින් දැන් සිට ම මෙය පටන් ගන්න. පුනරීක්ෂණ (Revision) පටන් ගන්න තෙක් හෝ සම්පූර්ණ විෂය නිර්දේශය නිම වන තෙක් ඉන්න එපා. ඒ ඒ විෂය කොටස නිම වූ සැණින් අදාළ ප්‍රශ්න කරන්න. ඔබ ලියන සියලු පිළිතුරු (වෙනම කොළවල ලියන්න) ඒ ඒ විෂය සඳහා වෙනම File කවරයක දමන්න. මෙම File කවරය තුළ පිළිතුරු ගොඩ ගැසෙත් ම ඔබගේ ආත්ම විශ්වාසය වැඩි වේවි. මේ අතර හැකියාවක් ඇත්නම් පිළිතුරු ගුරුවරයෙකුට පෙන්වා, අඩුපාඩු හදා ගන්න. නොමැති නම් ඔබ එක් තැනකට සීමා වේ. තම බුද්ධිමය නිම් වළලු පුළුල් කර ගැනීමට නම් අදාළ ගුරුවරුන් සමඟ (උගන්වන වේලාවන්ට අමතර ව) සුහද ව විෂය කරුණු සාකච්ඡා කරන්න. එය විභාග ජය සඳහා අද්විතීය උපක්‍රමයකි. අමතර LearnSteer පද්ධතිය තුළත් ප්‍රශ්න වලට සහ මාසික ප්‍රශ්නාවලිවලට මුහුණ දීමට සහ මාසික ප්‍රශ්නාවලියේ වැඩිම ලකුණු ලබාගන්නා ජයග්‍රහකයින් සඳහා මාසය අවසානයේ ත්‍යාග ප්‍රදානය කිරීමට අපි සුදානම්.

4. අත්විඳීම (Feel)

මෙය ද සක්‍රිය පරිකල්පනයට සමගාමී වූ මනෝවිද්‍යාත්මක සිද්ධාන්තයකි. එනම් ඉහත සියලු ක්‍රියාකාරකම් වන අතරේ, වෙලාවන් ලද විටක (මෙය බසයේ හෝ කෝච්චියේ ගමන් කරන විට, නාන විට, වෙනත් ඕනෑම පහසු විටක දී විය හැක.) ඔබ දැනටමත් A3 ක් සමඟ විභාගය සමත් වී ඇති බවත්, තම දිස්ත්‍රික්කයේ මුල් 10 දෙනා අතරට තේරී පත් වී ඇති බවත් සිතන්න. ඒ අනුව තම ජයග්‍රහණය ගැන අවංක ව, සියුම් ව ආඩම්බර වන්න. තෘප්තිමත් වන්න. සතුටු වන්න. මෙහි දී වැදගත් වන්නේ දැනට සත්‍ය වශයෙන් ම ඔබ එම ජයග්‍රහණය ලබා ගෙන නැති වුවත්, ලබා ගත් අයෙකු සේ හැසිරීමයි, හෝ නැතිනම් සිතීමයි. මෙය විහිළුවක් ලෙස බොහෝ විට ඔබ සිතනවා ඇත. නමුත් එය එසේ නොවේ. ඔබේ වර්තමාන සිතුවිලි, අනාගතය හැඩ හුරු කිරීමට හේතු වේ. (මනෝ පුබ්බංගමා ධම්මා… ගාථාව සිහි කරන්න.) ඒ අනුව අද අපේ සිතිවිලි අනාගතයට බලපාන බව මනෝවිද්‍යාත්මක ව ඔප්පු වී ඇත. සිතිවිලි සහ සිතට කාලය ආ අවකාශය විනිවිද යා හැක. සිත කාලය නම් සීමාව ඉක්මවා සිටී. එබැවින් ඔබ දැන් කළ යුතු ව ඇත්තේ තමන් සත්‍ය වශයෙන් ම විභාගය හොඳින් ජය ගත් සැටි මෙනෙහි කිරීමත්, එවිට ඇති වන මානසික තෘප්තිය දැන් සිට ම අත්විඳීමත් ය. මීට අමතර ව ඔබේ දෙමාපියන් ඔබ ගැන සතුටු වන අයුරුත්, නෑදෑ හිතවතුන්, යහළුවන් ඔබට සුබ පතන අයුරුත්, ගුරුවරුන් ඇතුළු පාසලෙන් ඔබට කීර්තිය හා සම්මාන ලැබෙන අයුරුත් මෙනෙහි කරන්න. තව ද ඔබ ඉතා විශාල යුග මෙහෙවරක යෙදෙන අයුරු අත්දකින්න. මේ අයුරින් අවම වශයෙන් සතියකට තෙවරක්වත් මෙම අත්විඳීමේ අභ්‍යාසයේ නිරත වන්න.

ඉතින් මා ප්‍රිය දුවේ/ පුතේ, ඔබේ ජය අපේ පැතුමයි!

ඔබ අපගේ හා ඔබේ දෙමව්පියන්ගේ එකම ජීවිත ආයෝජනයයි. එම ආයෝජනය මල් ඵල ගැන්වීමේ භාර දූර වගකීම ඇත්තේ ඔබ වෙත ය. ඒ නිසා ඒ බව මෙනෙහි කරමින් මේ උපදෙස් ක්‍රියාත්මක කරන්න. ඔබට අමතක වී යා හැකි බැවින් නැවත නැවත මේ ලිපිය කියවන මෙන් ආරාධනා කරමි. මේ පිළිබඳව ඔබේ අදහස් පහත “ඔබේ අදහස් සහ ප්‍රශ්න ඇතුළත් කරන්න” කොටසේ ඉදිරිපත් කරන්න. ඒවාට පිළිතුරු සැපයීමට සස්නක සහෝදරත්වය සුදානම්.

තව ද ඔබගේ ජයග්‍රහණය සඳහා නිබඳ ව මඟ පෙන්වීමට පෞද්ගලික ව මාත් අප සංසදයේ සෙසු සහෝදරත්වයත් කැපවී ඇති බව මතක් කරමින් නවතමි.

ඔබට සදා ජය ! 

හසිත විජේසුන්දර
හසිත විජේසුන්දර
ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ, HNB Finance මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික, ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රමුඛ ආයතනයක් වන ITC ආයතනයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අතර, ශ්‍රී ලංකා රජයට සහ මුදල් අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය වර්ධනය කිරීමේ කටයුතුත් සිදුකරන අතරම ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර වෙළඳාම ප්‍රතිෂ්ඨාපනය කොට නගාසිටුවීමේ කටයුතු සිදුකරන විද්වතෙකි. මීට අමතරව සස්නක සංසද ආරම්භක සාමාජිකයකු සහ වර්තමානයේ නිස්සරණාධ්‍යාසයෙන් සස්නක සංසදයට නායකත්වය සපයයි.

2 අදහස්

    • https://youtu.be/-KUo_CCv9Ug මේ link එකෙන් අපි පවත්වපු නියත ජය වැඩසටහන බලන්න පුළුවන්
      එකේදී උනන්දු කිරීම පාඩම් කිරීමේ පහසු ක්‍රම පැහැදිලි කිරීම මතක තියා ගැනීමේ කෙටි ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම වගේ ගොඩක් දේවල් අපි කියලා දුන්න. විෂයන් සමබර කරගෙන වෙලාව කළමනාකරණය කරන ආකාරය 2:00h වලින් පස්සේ තියෙනව. මුළු වැඩසටහනම බලනවනම් ගොඩාක් හොදයි

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
%d bloggers like this: