Accounting06.02 - කේවල ස්වාමි ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම හා ගැළපිලි සටහන්

06.02 – කේවල ස්වාමි ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම හා ගැළපිලි සටහන්

 

මූල්‍ය ප්‍රකාශන ගැළපිලි

 

මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේදී මූල්‍ය ප්‍රකාශ වලට අදාළ ඇතැම් තොරතුරු ලෙජර් ගිණුම් තුළ ඇතුළත් නොවිය හැක. එසේම ගිණුම් කාලපරිච්ජේදයට අදාළ ඇතැම් ගණුදෙනු ගිණුම්ගත නොවී පැවතිය හැක. එමනිසා ගිණුම් ක්‍රියාවලිය තුළ නොමැති නමුත් ඇතැම් ගණුදෙනු මූල්‍ය ප්‍රකාශන වලට ගැළපීමේ අවශ්‍යතාවක් ඇත. එම ගණුදෙනු “ගැළපිලි” ලෙස සැලකේ. ඒ අනුව ගිණුම් කාලපරිච්ජේදයේ ගිණුම්වල සටහන් නොවූ නමුත් මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේදී සැලකිල්ලට ගතයුතු ගැළපිලි මූල්‍ය ප්‍රකාශන වලට ගැළපීම සදහා පොදු ජ’නලයේ තබන සටහන් “ගැළපිලි සටහන්” ය.

 

1. අවසන් තොගය ගැළපීම

කිසියම් ගිණුම් කාලපරිච්ජේදයක් අවසන් වන විට ව්‍යාපාරයක ඉතිරිව ඇති නැවත විකිණීමේ පරමාර්ථයෙන් අත්පත් කරගත් තොග අවසන් තොග ලෙස සැලකේ.

අවසන් තොගයේ වටිනාකම ලෙස ගත යුත්තේ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගය යන අගයන්ගෙන් වඩා අඩු අගයයි.

  • අවසන් තොගයේ වටිනාකම ලෙස පිරිවැය ගත්විට,

        අවසන් තොග ගිණුම        හර

             විකුණුම් පිරිවැය ගිණුම        බැර

මෙහිදී “අවසන් තොග ගිණුම හර” යන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ ජංගම වත්කම් තුලත්, “විකුණුම් පිරිවැය බැර” යන්න විකුණුම් පිරිවැය සෙවීමේදී අඩු කිරීමක් ලෙස දැක්විය යුතුය.

  • අවසන් තොගයේ වටිනාකම ශුද්ධ උපලබ්ධි අගය ගත්විට,

        අවසන් තොග ගිණුම          හර

        ලාභලාභ ගිණුම               හර

              විකුණුම් පිරිවැය ගිණුම        බැර

මෙහිදී “අවසන් තොග ගිණුම හර” යන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ ජංගම වත්කම් තුළත්, “ලාභලාභ ගිණුම හර” යන්න වෙනත් වියදමක් ලෙසත්, “විකුණුම් පිරිවැය ගිණුම බැර” යන්න විකුණුම් පිරිවැය සෙවීමේදී අඩු කිරීමක් ලෙසත් දැක්විය යුතුය.

 

2. භාණ්ඩ ගැනිලි ගැළපීම

      ගැනිලි ගිණුම            හර

           විකුණුම් පිරිවැය ගිණුම      බැර

“ගැනිලි ගිණුම හර” යන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හිමිකම් වලින් අඩු වේ. “විකුණුම් පිරිවැය ගිණුම බැර” යන්න විකුණුම් පිරිවැය සෙවීමේදී ගැනුම් වලින් අඩු කිරීමක් ලෙස දැක්විය යුතුය.

 

3. තොග පරිත්‍යාග ගැළපීම

      පරිත්‍යාග ගිණුම       හර

           විකුණුම් පිරිවැය ගිණුම      බැර

“පරිත්‍යාග ගිණුම හර” යන්න ආදායම් ප්‍රකාශයේ වෙනත් වියදම් යටතේ දැක්විය යුතුය. “විකුණුම් පිරිවැය ගිණුම බැර” යන්න විකුණුම් පිරිවැය සෙවීමේදී ගැනුම් වලින් අඩු කිරීමක් ලෙස දැක්විය යුතුය.

 

4. තොග හානි වීම

  • හානි වූ හෝ නැති වූ තොගයේ පිරිවැය ගැළපීම.

      හානි වූ තොග ගිණුම     හර

           විකුණුම් පිරිවැය ගිණුම       බැර

  • හානි වූ තොග රක්ෂණය කර ඇති විට ලැබිය යුතු රක්ෂණ වන්දී ගැළපීම.

      ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම    හර

           හානි වූ තොග ගිණුම               බැර

“ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර” යන්න ජංගම වත්කමක් ලෙසත්, “විකුණුම් පිරිවැය ගිණුම බැර” යන්න විකුණුම් පිරිවැය සෙවීමේදී ගැනුම් වලින් අඩු කිරීමක් ලෙසත් ගළපන අතර හානි වූ තොග ගිණුමේ ශේෂය තොග අලාභය ලෙස ලාභ හෝ අලාභ ප්‍රකාශයේ වෙනත් වියදම් යටතේ පෙන්නුම් කරයි.

එම පාඩුව පහත පරිදි ආදායම් ප්‍රකාශයට ගැළපිය හැකිය.

     ලාභලාභ ගිණුම         හර

          හානි වූ තොග ගිණුම        බැර

 

  • ඉහත ද්විත්ව සටහන් 3 එකතු කර පහත පරිදි එක් ද්විත්ව සටහනක් තැබිය හැක.

     ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම   හර

     ලාභලාභ ගිණුම                     හර

          විකුණුම් පිරිවැය ගිණුම             බැර   

 

5. ලැබිය යුතු ආදායම් හා කලින් ලද ආදායම්

ගිණුම් කාලපරිච්ජේදය අවසාන වන විට තවදුරටත් ලැබීමට ඇති කාලපරිච්ජේදයට අදාළ ආදායම් ලැබිය යුතු ආදායම් වේ.

     ලැබිය යුතු ආදායම් ගිණුම   හර

          අදාළ ආදායම් ගිණුම         බැර

මෙහිදී “ලැබිය යුතු ආදායම් ගිණුම හර” යන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් ලෙසත්, “අදාළ ආදායම් ගිණුම බැර” යන්න ආදායම් ප්‍රකාශයේ වෙනත් ආදායම් වලට එකතු වේ.

 

කාලපරිච්ජේදයට අදාළ මුළු ආදායම් ප්‍රමාණයට වඩා වැඩි ආදායම් ප්‍රමාණයක් කාලපරිච්ජේදය තුළ ලැබී ඇත්නම් එලෙස  වැඩිපුර ලැබී ඇති ආදායම් කලින් ලද ආදායම් වේ.

    අදාළ ආදායම් ගිණුම     හර

        කලින් ලැබු ආදායම් ගිණුම    බැර

“අදාළ ආදායම් ගිණුම හර” යන්න අදාළ ආදායම් ගිණුමෙන් අඩුවේ. කාලපරිච්ජේදයට අදාළ ආදායම පමණක් ආදායම් ප්‍රකාශයේ දැක්විය යුතුය. “කලින් ලැබු ආදායම් ගිණුම බැර” යන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් යටතේ දැක්විය යුතුය.

 

6. උපචිත වියදම් හා ඉදිරියට ගෙවූ වියදම්

ගිණුම් කාලපරිච්ජේදය අවසාන වන විට තවදුරටත් ගෙවීමට ඇති කාලපරිච්ජේදයට අදාළ වියදම් උපචිත වියදම් වේ.

     අදාළ වියදම් ගිණුම      හර

         උපචිත වියදම් ගිණුම      බැර

මෙහීදී “අදාළ වියදම් ගිණුම හර” යන්න අදාළ වියදම් ගිණුමට එකතු වේ. කාලපරිච්ජේදයට අදාළ වියදම පමණක් ආදායම් ප්‍රකාශයේ දැක්විය යුතුය. “උපචිත වියදම් ගිණුම බැර” යන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් යටතේ දැක්විය යුතුය.

 

ගිණුම් කාලපරිච්ජේදය අවසාන වන විට ගෙවා ඇති වියදම් තුළ කාලපරිච්ජේදයට අදාළ නොමැති වැඩිපුර ගෙවූ වියදම් ඉදිරියට ගෙවූ වියදම් වේ.

     ඉදිරියට ගෙවූ වියදම් ගිණුම      හර

           අදාළ වියදම් ගිණුම            බැර

“ඉදිරියට ගෙවූ වියදම් ගිණුම හර” යන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ දැක්විය යුතුය. “අදාළ වියදම් ගිණුම බැර” යන්න අදාළ වියදම් ගිණුමෙන් අඩු වේ. කාලපරිච්ජේදයට අදාළ වියදම පමණක් ආදායම් ප්‍රකාශයේ දැක්විය යුතුය.

 

7. බොල්ණය ගැළපීම

ව්‍යාපාරයක් තම ණයගැතියන්ගෙන් ස්ථීරවම නොලැබේ යැයි අපේක්ෂා කරන ණය බොල්ණය වේ.

     බොල් ණය ගිණුම    හර

         ණයගැති ගිණුම        බැර

“බොල් ණය ගිණුම හර” යන්න ආදායම් ප්‍රකාශයේ බෙදාහැරීමේ වියදම් යටතේ දැක්විය යුතුය. “ණයගැති ගිණුම බැර” යන්න ණයගැති ශේෂයෙන් අඩු කළ යුතුය.

 

8. අඩමාණ ණය වෙන්කිරීම

ව්‍යාපාරයක ණයගැතියන්ගෙන් අනාගතයේ නොලැබේ යැයි අපේක්ෂා කරන ණය වෙනුවෙන් වර්තමාන ලාභයෙන් ඉවත් කරන ප්‍රමාණයක් අඩමාණ ණය වෙන්කිරීම ලෙස හැදින්වේ.

  • අඩමාණ ණය වෙන්කිරීම් ප්‍රථමයෙන් සිදුකරයි නම්,

     අඩමාණ ණය ගිණුම      හර

         අඩමාණ ණය වෙන්කිරීම් ගිණුම    බැර

  • ඌන අඩමාණ ණය වෙන්කිරීමක් නම්,

      අඩමාණ ණය ගිණුම    හර

          අඩමාණ ණය වෙන්කිරීම් ගිණුම  බැර

  • අධි අඩමාණ ණය වෙන්කිරීමක් නම්,

      අඩමාණ ණය වෙන්කිරීම්  ගිණුම  හර

           අඩමාණ ණය ගිණුම              බැර

අඩමාණ ණය ගිණුමේ ශේෂය ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ දැක්විය යුතුය. අඩමාණ ණය වෙන්කිරීම් ගිණුමේ ශේෂය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වල ණයගැතියන්ගෙන් අඩු කළ යුතුය.

 

9. දේපළ පිරියත ක්ෂය ගැළපීම

    ක්ෂය ගිණුම      හර

       ක්ෂය වෙන්කිරීම් ගිණුම   බැර

“ක්ෂය ගිණුම හර” යන්න ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ දැක්විය යුතුය. “ක්ෂය වෙන්කිරීම් ගිණුම බැර” යන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සමුච්චිත ක්ෂයට එකතු කළ යුතුවේ.

 

10. EPF හා ETF ගැළපීම

  • සේවක අර්ථ සාධක අරමුදල(EPF)

මෙම අරමුදල සදහා සේවකයා හා සේව්‍යයා යන පාර්ශවයන් 2 ම දායක වන අතර දෙපාර්ශවයේම මුදල් සේවක අර්ථ සාධක අරමුදලට ප්‍රේෂණය කෙරේ.

  • සේවක භාරකාර අරමුදල(ETF)

මෙම අරමුදල සදහා සේවකයා දායක නොවන අතර සේව්‍යයා පමණක් දායක වේ.

  • දළ වැටුප

 කිසියම් ආයතනයක වැඩ කරන ශ්‍රමිකයන්ට හිමි වැටුප හෙවත් මුළු වැටුප වේ.

    වැටුප් හා වේතන ගිණුම   හර

      වැටුප් හා වේතන පාලන ගිණුම  බැර

  • ශුද්ධ වැටුප

ශ්‍රමිකයන්ගේ දළ වැටුපෙන් සිදු කරන අඩුකිරීම් අඩු කර ඔවුනට මුදලින් ගෙවන වැටුප වේ.

   වැටුප් හා වේතන පාලන ගිණුම    හර

      මුදල් ගිණුම                           බැර

  • ශ්‍රමිකයාගේ වැටුපෙන් අඩු කරගන්නා වෙනත් අඩු කිරීම්

    වැටුප් හා වේතන පාලන ගිණුම   හර

       අදාළ අඩු කිරීම් ගිණුම             බැර

  • EPF සදහා සේවකයාගේ දායකය

     වැටුප් හා වේතන පාලන ගිණුම    හර

        ගෙවිය යුතු අර්ථසාධක අරමුදල් ගිණුම    බැර

  • EPF සදහා සේව්‍යයාගේ දායකය

     අර්ථසාධක අරමුදල් වියදම් ගිණුම   හර

         ගෙවිය යුතු අර්ථසාධක අරමුදල් ගිණුම  බැර

  • ETF සදහා සේව්‍යයාගේ දායකය

     භාරකාර අරමුදල් වියදම් ගිණුම   හර

        ගෙවිය යුතු භාරකාර අරමුදල් ගිණුම  බැර

 

11. විකිණීමේ හෝ ආපසු එවීමේ පදනමට යැවූ භාණ්ඩ ගැළපීම

ප්‍රධානියා විසින් නියෝජිතයාට භාණ්ඩ යවන විට ප්‍රධානියාගේ පොත්වල විකුණුම් ලෙස සටහන් කර යවා ඇත්නම්,

  • නොවිකුණූ භාණ්ඩවල විකුණුම් මිල

    විකූණුම් ගිණුම    හර

      ණයගැති ගිණුම      බැර

  • නියෝජිතයා සතුව ඉතිරිව ඇති භාණ්ඩවල පිරිවැය,

     අවසන් තොග ගිණුම   හර

        විකුණුම් පිරිවැය ගිණුම    බැර

ප්‍රධානියා විසින් නියෝජිතයාට භාණ්ඩ යැවීමේදී ප්‍රධානියාගේ පොත්වල කිසිදු සටහනක් නොකර යවා ඇත්නම්,

  • විකුණූ භාණ්ඩවල විකුණුම් මිල

     ණයගැති ගිණුම    හර

        විකුණුම් ගිණුම       බැර

  • නියෝජිතයා සතුව ඉතිරිව ඇති භාණ්ඩවල පිරිවැය,

     අවසන් තොග ගිණුම   හර

         විකුණුම් පිරිවැය ගිණුම   බැර

 

12. එකතු කළ අගය මත බදු ගැලපීම

  • VAT ගෙවමින් භාණ්ඩ මිලට ගන්නා විට,

     ගැනුම් ගිණුම      හර

     VAT ගිණුම      හර

        මුදල්/ණයහිමි ගිණුම   බැර

  • VAT ගෙවමින් වත්කමක් මිලට ගන්නා විට,

     අදාල වත්කම් ගිණුම    හර

     VAT ගිණුම            හර

        මුදල්/ණයහිමි ගිණුම   බැර

  • VAT ගෙවමින් වියදමක් දරන විට,

     අදාල වියදම් ගිණුම   හර

     VAT ගිණුම          හර

          මුදල් ගිණුම        බැර

  • VAT අයකරමින් ආදායමක් ලබන විට,

     මුදල් ගිණුම       හර   

         අදාල ආදායම් ගිණුම      බැර

         VAT ගිණුම               බැර

  • VAT අයකරමින් විකුණුම් සිදුකරන විට,

     මුදල් ගිණුම    හර   

        විකුණුම් ගිණුම       බැර

        VAT ගිණුම         බැර

 

 

 
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom