02. ජීවයේ රසායනික හා සෛලීය පදනම02.03. සෛල චක්‍රය හා සෛල විභාජනය2.3.1 - සෛල චක්‍රය හා සෛල විභාජන ක්‍රියාවලිය.

2.3.1 – සෛල චක්‍රය හා සෛල විභාජන ක්‍රියාවලිය.

සෛල චක්‍රය සහ සෛල විභාජන ක්‍රියාවලිය.

  1. සෛල චක්‍රය යනු කුමක්ද?
    • එක් සෛලයක සෛල විභාජනයක අවසානයේ සිට ඊළඟ සෛල විභාජනයේ අවසානය තෙක් සෛලයක සිදුවන සිදුවීම් අනුපිළිවෙළ සෛල චක්‍රය නම් වේ.

 

2. මෙහිදී සිදුවන ක්‍රියාව සරලව දක්වන්න.

    • සෛල විභාජනයේදී සිදුවන්නේ ශරීරයේ පවතිනු ලබන සෛල බෙදීමෙන් මාතෘ සෛලයට සමාන ප්‍රවේණිකව සර්වසම දුහිතෘ සෛල බිහි කිරීමයි.
    • මේ ආකාරයට විභාජනය අවසානයේ ඇති කරනු ලබන සෛල ගණන විභාජන ආකාරය මත තීරණය වේ.

 

සූන්‍යෂ්ටික සෛල චක්‍රය

3. සූන්‍යෂ්ටිකයන් තුල දැකිය හැකි ප්‍රධාන සෛල විභාජන ආකාර මොනවාද?

    • අනූනන විභාජනය
    • ඌනන විභාජනය

 

4. සූන්‍යෂ්ටික සෛල චක්‍රයට අදාළ ප්‍රධාන අදියර මොනවාද?

  •  
    • අන්තර්කලාව
    • අනූනන කලාව/ M කලාව

 

5. ඉහත දැක්වෙන අන්තර් කලාව පිළිබඳව කෙටියෙන් හඳුන්වන්න.

    •  
    • මෙම කලාව සෛල චක්‍රයේ දීර්ඝතම කාල සීමාව වේ.
    • සෛල චක්‍රයෙන් 90% ක් පමණ ආවරණය කරනු ලබයි.
    • අන්තර් කලාව කලා තුනකට වෙන් කළ හැක.
    • එනම්,
      1. G1 කලාව (ප්‍රථම පරතර කලාව)
      2. S කලාව (සංස්ලේෂණ කලාව)
      3. G2 කලාව (දෙවන පරතර කලාව)

 

 

6. G1 කලාව පිළිබඳව කෙටියෙන් විස්තර කරන්න.

    • මෙම කලාව තුළ ප්‍රෝටීන සංශ්ලේෂණය හා සෛල වර්ධනයට මඟ පාදන සෛලීය ඉන්ද්‍රයිකා නිපදවෙයි.
    • එමෙන්ම S කලාව සඳහා අවශ්‍ය වනු ලබන අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන නිපදවනු ලබයි.

 

7. S කලාව පිළිබඳව කෙටියෙන් කරුණු දක්වන්න.

  •  
    • DNA ප්‍රතිවලිත වීම හා හිස්ටෝන් ප්‍රෝටීන සංශ්ලේෂණය සිදු වේ.
    • හිස්ටෝන් ප්‍රෝටීන (පබළු හැඩැති) මත DNA වෙළී ක්‍රොමැටීන් සෑදේ.

 

8. G2 කලාව පිළිබඳව කෙටියෙන් පහදන්න.

    • සෛලීය ඉන්ද්‍රයිකා මෙන්ම ප්‍රෝටීන සංශ්ලේෂණය මඟින් සෛල වර්ධනය අඛණ්ඩව පවත්වා ගනී. අනූනන කලාව සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන සංශ්ලේෂණය කරගනී.
    • කේන්ද්‍ර දේහය ද්වීකරණය වේ.

 

9. සෛල විභාජනයේදී සෛලයක් ඉදිරි කලාවලට ගමන් කිරීමට පෙර කුමක් සිදුවේද?

    • සෛල සූදානම්ද නැත්ද යන වග තීරණය කරගැනීමට එම සෛල පිරික්සුම් ස්ථාන හරහා ගමන් කරයි.
    • මෙම පිරික්සුම් ස්ථාන මඟින් සෛල චක්‍රය පාලනය කරනු ලබයි.

 

10. සෛල චක්‍රය තුළ පිරික්සුම් ස්ථාන ඇති තැන් මොනවාද?

    • G1, G2 හා M කලාවල ඇත.

 

11. සෛල චක්‍රයේ පිරික්සුම් ස්ථාන වලින් සෛල ඉදිරියට යැවූ විට හා නොයැවූ විට කුමක් සිදුවේද?

    • සෛල චක්‍රයේදී සමහර සෛල වලට G1 පිරික්සුම් ස්ථානයේදීම ඉදිරියට යෑමේ සංඥාව ලැබෙයි.
    • එම සෛල G1, S, G2 සහ M කලාවන් සම්පූර්ණ කර සෛල විභාජනයට ලක්වෙයි.
    • නමුත් G1 පිරික්සුම් ස්ථානයේදී ඉදිරියට යෑමේ සංඥාව නොලැබුනු විට එම සෛල, සෛල චක්‍රයෙන් ඉවත්වී G0 කලාව ලෙස හැඳින්වෙන සෛල විභාජනය සිදු නොවන අදියරට ඇතුළු වේ.

 

12. මිනිසාගේ දේහයේ G0 කලාවේ පවතිනු ලබන සෛල වර්ගයක් දක්වන්න.

    • ස්නායු සෛල
    • පේශී සෛල

 

සෛල චක්‍රය සම්පූර්ණයෙන් 

 

13. අනූනන කලාව පිළිබඳ කෙටි හැඳින්වීමක් දෙන්න.

    • මෙම කලාව සෛල චක්‍රයෙන් 10% ක් ආවරණය කරනු ලබයි.
    • මෙම කලාවට අනූනනය හා සෛල ප්ලාස්ම විභාජනය යන පියවර දෙක ඇතුලත් වේ.

 

අනූනනය

14. අනූනනය යනු කුමක්ද?

    • එක් මාතෘ න්‍යෂ්ටියකින්, ප්‍රවේණිකව සර්වසම දුහිතෘ න්‍යෂ්ටි දෙකක් නිපදවන න්‍යෂ්ටික විභාජනයකි.

 

15. අනූනන විභාජනය බෙදෙන අවධි මොනවාද?

    • ප්‍රාක් කලාව
    • පෙරයෝග කලාව
    • යෝග කලාව
    • වියෝග කලාව
    • අන්ත කලාව

 

16. ප්‍රාක් කලාව පිළිබඳව පහදන්න.

  •  
    • මෙම කලාව තුළ දී, ක්‍රොමැටීන් තන්තු කෙටි වීම හා ඝනකම් වීම මඟින් ඝන වී වර්ණදේහ බවට පරිවර්තනය වේ.
    • මෙහි ප්‍රතිඵලයක් ලෙස වර්ණදේහ අන්වීක්ෂයෙන් පෙනේ.
    • න්‍යෂ්ටිකාව නැතිවී යන අතර සෙන්ට්‍රොමියරය මඟින් සම්බන්ධ වී ඇති සහෝදර වර්ණදේහාංශ දෙකක් සහිතව වර්ණදේහ පෙනේ.
    • අනූනන තර්කුව සෑදීම ආරම්භ වේ.
    • කේන්ද්‍රදේහ දෙක අතර, ක්ෂුද්‍රනාලිකා දික් වීම හේතු කොට ගෙන කේන්ද්‍රදේහ සෛලයේ ප්‍රතිවිරුද්ධ ධ්‍රැව දෙසට චලනය වේ.

 

17. සහෝදර වර්ණදේහාංශවල වර්ණදේහ බාහු බැඳී ඇත්තේ කුමක් මඟින්ද?

    • කොහෙසීන් නම් විශේෂ ප්‍රෝටීනය මඟින්.

 

18. තර්කුව සඳහා අයත්වන අංග මොනවාද?

    • කේන්ද්‍රදේහය
    • තර්කු ක්ෂුද්‍රනාලිකා
    • තුරුව

 

19. පෙර යෝග කලාවේ ක්‍රියාවලිය පිළිබඳව කෙටියෙන් විස්තර කරන්න.

  •  
    • න්‍යෂ්ටික ආවරණය බිඳී යයි.
    • වර්ණදේහ තවදුරටත් ඝන බවට පත්වේ.
    • එක් එක් වර්ණදේහයේ වර්ණදේහාංශවල සෙන්ට්‍රොමියරය අසලදී විශේෂ ප්‍රෝටීනයක් වන කයිනෙටොකෝර් මඟින් සම්බන්ධ වේ.
    • වර්ණදේහ වල කයිනෙටොකෝර් වලට සම්බන්ධ වී ඇති සමහර ක්ෂුද්‍රනාලිකා වර්ණදේහ ඉදිරියට හා පසුපසට චලනය කරවයි.
    • කයිනෙටොකෝර් වලට සම්බන්ධ නොවූ ක්ෂුද්‍රනාලිකා ප්‍රතිවිරුද්ධ ධ්‍රැව වල සිට එන ක්ෂුද්‍රනාලිකා සමඟ අන්තර්ක්‍රියා කරයි.

 

20. යෝග කලාවේ සෛලය තුළ සිදුවන සිදුවීම් දක්වන්න.

  •  
    • කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ධ්‍රැව දෙක වෙත ළඟා වේ.
    • එක් එක් ධ්‍රැවයේ සිට සම දුරකින් පිහිටි යෝග කලා තලය නම් ස්ථානයට වර්ණදේහ පැමිණ ඇත.
    • සෑම වර්ණදේහයකම සෙන්ට්‍රොමියරය යෝග කලා තලය මත පිහිටයි.
    • මෙම කලාව අවසාන වන විටදී සෑම වර්ණදේහයකම කයිනෙටොකෝර් සමඟින් ප්‍රතිවිරුද්ධ ධ්‍රැව දෙකෙන්ම පැමිණෙන ක්ෂුද්‍රනාලිකා සම්බන්ධ වනු ලැබේ.

 

21. වියෝග කලාව පිළිබඳව කෙටියෙන් විස්තර කරන්න.

  •  
    • සහෝදර වර්ණදේහාංශ සෙන්ට්‍රොමියරයෙන් වෙන් වේ.
    • කයිනෙටොකෝරවලට සම්බන්ධ වූ ක්ෂුද්‍රනාලිකා කෙටි වී වර්ණදේහාංශ ප්‍රතිවිරුද්ධ ධ්‍රැව දෙසට ඇදේ.
    • කයිනෙටොකෝර් වලට සම්බන්ධ නොවූ ක්ෂුද්‍රනාලිකා දිගු වීම නිසා සෛලය දිගින් වැඩිවේ.
    • මෙම කලාව අවසාන වීමත් සමඟ සමාන හා සම්පූර්ණ වර්ණදේහ කට්ටල සෛලයේ එක් එක් ධ්‍රැවයේ පිහිටයි.

 

22. අනූනන විභාජනයේ අන්ත කලාවේ ක්‍රියාවලිය දක්වන්න.

  •  
    • ප්‍රතිවිරුද්ධ ධ්‍රැවවල ඇති එක් එක් වර්ණදේහ කට්ටලය වටා න්‍යෂ්ටි ආවරණය නැවත සෑදේ.
    • න්‍යෂ්ටිකාව නැවත දර්ශනය වේ.
    • තර්කු ක්ෂුද්‍ර නාළිකා විබහු අවයවීකරණය වේ.
    • ක්‍රොමැටීන් සෑදීමට වර්ණදේහ ලෙහී ඝන වීම අඩු වේ.
    • එකිනෙකට ප්‍රවේණිකව සර්වසම දුහිතෘ න්‍යෂ්ටි සෑදේ.

 

23. සෛල ප්ලාස්ම විභාජනය පිළිබඳව විස්තර කරන්න.

    • අන්තකලාව අවසාන වන විට සෛල ප්ලාස්ම විභාජනය ආරම්භ වේ.
    • සත්ත්ව සෛල වල හා ශාක සෛල වල සෛල ප්ලාස්ම විභාජනය ආකාර දෙකකට සිදුවනු ලැබේ.

 

24. සත්ත්ව සෛල වල හා ශාක සෛල වල සෛල ප්ලාස්ම විභාජනය සිදුවන ආකාරය දක්වන්න.

    1.  
    1. සත්ත්ව සෛලවල,
      • භේදන ඇලියක් ඇති වේ.
      • එමගින් ප්‍රවේණිකව සර්වසම දුහිතෘ සෛල 2ක් නිපදවයි.

     ii. ශාක සෛලවල,

      • ගොල්ගී උපකරණ වලින් නිපදවන ආශයිකාවල ප්‍රතිඵලයක් ලෙස සෛල තලයක් සෑදේ.
      • මේ මඟින් සෛල ප්ලාස්මය දෙකට බෙදී, මාතෘ සෛලයට ප්‍රවේණිකව සර්වසම දුහිතෘ සෛල දෙකක් සෑදේ.

 

අනූනන සෛල විභාජනය සම්පූර්ණයෙන්

 

25. අනූනන විභාජනයේ වැදගත්කම කුමක්ද?

    • ප්‍රවේණික ස්ථායිතාව පවත්වා ගැනීමට.
    • වර්ධනය හා විකසනයට.
    • සෛල අලුත් වැඩියාව, ප්‍රතිස්ථාපනය හා පුනර්වර්ධනයට.
    • අලිංගික ප්‍රජනනයට

 

ඌනනය

26. ඌනනය ලෙස හැඳින්වෙන්නේ කුමන ආකාරයේ විභාජනයක්ද?

    • ලිංගික ප්‍රජනනය සිදු කරන ජීවීන් සිදු කරනු ලබන වෙනස් ආකාරයේ සෛල විභාජනයකි.
    • එනම්, ඌනනය යනු ද්වීගුණ මාතෘ න්‍යෂ්ටියකින් ප්‍රවේණිකව සර්වසම නොවන ඒකගුණ දුහිතෘ න්‍යෂ්ටි හතරක් සාදන න්‍යෂ්ටි විභාජන ක්‍රමයකි.

 

27. ඌනනයේදී න්‍යෂ්ටි විභාජන කීයක් පවතීද?

    • අනුයාතව සිදු වන න්‍යෂ්ටි විභාජන දෙකක් ඇත.
    • එම පියවරවල් ඌනනය I හා ඌනනය II නම්වේ.

 

28. ඌනනය I හා ඌනනය II දී සිදුවන ක්‍රියාව කෙටියෙන් දක්වන්න.

    •  
    • ඌනනය I දී වර්ණදේහ සංඛ්‍යාව අඩුවනු ලැබේ.
    • ඌනනය II දී සිදුවන ක්‍රියාව අනූනනයට සමාන වේ.
    • මෙම එක් එක් පියවර උප කලා හතරකින් සමන්විත වේ. එනම්,
      1. ප්‍රාක් කලාව
      2. යෝග කලාව
      3. වියෝග කලාව
      4. අන්ත කලාව යනාදී ආකාරයටයි.
    • ඌනනයට පෙර අන්තර් කලාවේ ඇති එක් සෛලයක් අන්තර් කලාවේ S කලාවේ දී DNA ප්‍රතිවලිතය සිදු වේ.

 

 

29. ඌනනය I හි ප්‍රාක් කලාව I පිළිබඳව විස්තර කරන්න.

  •  
    • සෛලය අන්තර් කලාවේ සිට ප්‍රාක් කලාව I ට ඇතුලත් වේ.
    • එහිදී වර්ණ්දේහ ඝන බවට පත් වීම ඇරඹේ.
    • න්‍යෂ්ටිකාව අතුරුදන් වීම ආරම්භ වේ.
    • ඉන්පසුව විශිෂ්ට ප්‍රෝටීනයක් මඟින් සමජාත වර්ණදේහ දෙක තදින් එකට බැඳ තබාගන්නා “උපාගමපට සංකීර්ණය” නමින් හඳුන්වන, සිප් එකක් (zipper) වැනි ව්‍යුහයක් සෑදේ.
    • සමජාත වර්ණදේහ යුගලනය හා භෞතිකව සම්බන්ධ වීම උපාගමය ලෙස හැඳින්වේ.
    • උපාගමයේ දී සමජාත වර්ණදේහ යුගලේ සහෝදර නොවන වර්ණදේහාංශවල DNA අණුවේ කොටස් කැඩී, හුවමාරු වී අනුරූපී ලක්ෂ්‍ය අසල දී නැවත සම්බන්ධ වීම සිදු වේ.
    • මෙම ක්‍රියාවලිය අවතරණය නම් වේ.
    • උපාගම පට සංකීර්ණය වෙන් වූ පසු අවතරණය සිදු වූ ලක්ෂ්‍ය (ස්ථාන) මංසල ලෙස පෙනෙන අතර, සමජාත වර්ණදේහ සුළු වශයෙන් එකිනෙකින් ඈත් වේ.
    • න්‍යෂ්ටි ආවරණය බිඳ වැටේ.
    • සත්ත්ව සෛලවල තර්කුව සාදමින්, කේන්ද්‍රදේහ ප්‍රතිවිරුද්ධ ධ්‍රැව කරා ගමන් කරයි.
    • එක් ධ්‍රැවයක හෝ අනෙක් ධ්‍රැවයේ සිට එන ක්ෂුද්‍රනාලිකා වලට එක් එක් සමජාත වර්ණදේහවල කයිනෙටොකෝර් වලට සම්බන්ධ වේ.
    • සමජාත වර්ණදේහ යුගල, පසුව යෝග කලා තලය දෙසට ගමන් කරයි.

ඌනනය I ප්‍රාක් කලාව I හිදී අවතරණය සිදුවන ආකාරය

 

30. ඌනනය I යෝග කලාව I පිළිබඳව කෙටියෙන් පැහැදිලි කරන්න.

    • සමජාත වර්ණදේහ යුගල යෝග කලා තලය මත එක් එක් යුගලේ එක් වර්ණදේහයක්, එක් එක් ධ්‍රැවයට මුහුණලා සකස් වේ.
    • එක් සමජාත වර්ණදේහයක,
      • වර්ණදේහාංශ දෙක ම එක් ධ්‍රැවයක සිට එන කයිනෙටොකෝර් ක්ෂුද්‍රනාළිකා වලට සම්බන්ධ වී ඇති අතර,
      • අනෙක් සමජාත වර්ණදේහයේ වර්ණදේහාංශ දෙක, ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයේ සිට එන කයිනෙටොකෝර් ක්ෂුද්‍ර නාළිකාවලට සම්බන්ධවේ.
    • සමජාත වර්ණදේහ අහඹු ලෙස යෝග කලා තලය මත සකස් වේ. මෙම ක්‍රියාවලිය ස්වාධීන සං‍රචනය ලෙස හැඳින්වේ.

 

31. ඌනනය I හි වියෝග කලාව I පිළිබඳව පැහැදිලි කරන්න.

  •  
    • තර්කුවේ කයිනෙටොකෝර් නාලිකා කෙටි වීම අරඹයි.
    • සමජාත වර්ණදේහ යුගල වෙන් වන අතර එක් එක් සමජාත යුගලේ එක වර්ණදේහයක් ප්‍රතිවිරුද්ධ ධ්‍රැව දෙසට චලනය වේ.
    • එක් එක් වර්ණදේහයේ සහෝදර වර්ණදේහාංශ සෙන්ට්‍රොමියරයට සම්බන්ධ වී පවතින අතර, ඒවා තනි ඒකකයක් ලෙස අදාළ ධ්‍රැවයට සෙන්ට්‍රොමියරය පෙරටු කර ගෙන චලනය වේ.

 

32. ඌනනය I හි අන්ත කලාව I පිළිබඳව විස්තර කරන්න.

    • සම්පූර්ණ ඒකගුණ වර්ණදේහ කට්ටලයක් එක් එක් ධ්‍රැවයේ ඒකරාශී වී පවතී.
    • න්‍යෂ්ටි ආවරණය එම එක් එක් ඒකගුණ වර්ණදේහ කට්ටලය වටා යළි සෑදේ.
    • න්‍යෂ්ටිකාව යළි පෙනේ.
    • තර්කුව කැඩී බිඳී යයි.
    • වර්ණදේහ ඝනවීම් ලිහිල් වී ක්‍රොමැටීන් බවට පත්වේ.
    • ප්‍රවේණිකව සර්වසම නොවන ඒකගුණ න්‍යෂ්ටි දෙකක් එක් සෛලයක් තුළ සෑදේ.

 

33. අන්ත කලාව I අවසානයේදී සිදුවන සෛල ප්ලාස්ම විභාජනයේ පියවර දක්වන්න.

  •  
    • අන්තකලාව I ට සමගාමීව සිදුවේ.
    • සත්ත්ව සෛලවල නම් භේදන ඇලියක් සකස් වීම මඟින් මාතෘ සෛලය ප්‍රවේණිකව සර්වසම නොවන දුහිතෘ සෛල දෙකකට බෙදේ.
    • ශාක සෛල වල නම් ගොල්ගි උපකරණ වලින් නිපදවනු ලබන සංඝටක නිසා සෛලය තුළ සෛල තලයක් ඇතිවීම මඟින් ප්‍රවේණිකව අසමාන දුහිතෘ සෛල දෙකක් ඇතිවේ.

 

34. ඌනනය I හා ඌනනය II අතර DNA ප්‍රතිවලිත වීමක් සිදුවේද?

    •  
    • සිදු නොවේ.

 

35. ඌනනය II ප්‍රාක් කලාව II පිළිබඳව විස්තර කරන්න.

  •  
    • මෙහිදී කේන්ද්‍රදේහය මඟින් තර්කු උපකරණ නිපදවීම අරඹයි (තර්කු තන්තු,තුරුව හා කේන්ද්‍ර දේහය).
    • ක්‍රොමැටීන් තන්තු ඝන වී සහෝදර වර්ණදේහාංශ දෙකක් සහිත වර්ණදේහ නිපදවයි.
    • න්‍යෂ්ටි ආවරණය කැබලිවලට බිඳ වැටේ.
    • න්‍යෂ්ටිකාව අතුරුදන් වේ.
    • පසු ප්‍රාක් කලාව II වන විට වර්ණදේහවල සෙන්ට්‍රොමියර යෝග කලා II තලය වෙතට චලනය වී ඇත.

 

36. ඌනනය II යෝග කලාව II පිළිබඳව විස්තර කරන්න.

  •  
    • සියලු වර්ණදේහ ඒවායේ සෙන්ට්‍රොමියර වලින් ක්ෂුද්‍ර නාළිකාවලට සම්බන්ධ වී යෝග කලා තලය මත පෙළ ගැසේ.
    • සහෝදර වර්ණදේහාංශ වල කයිනෙටොකෝර් වලට ධ්‍රැව දෙකෙන්ම විහිදෙන ක්ෂුද්‍ර නාලිකා සම්බන්ධවේ.
    • ඌනනය I හිදී අවතරණය සිදු වූ නිසා එක් වර්ණදේහයක ඇති වර්ණදේහාංශ යුගලය ප්‍රවේණිකව සර්වසම නොවේ.

 

37. ඌනනය II හි යෝග කලා තලය ඌනනය I හි යෝග කලා තලයෙන් වෙනස් වන්නේ කෙසේද?

    • ඌනනය II සාමාන්‍යයෙන් ඌනනය I විභාජන තලයට ලම්භකව සිදුවේ.
    • ඒනිසා ඌනනය II හි ඇති යෝග කලා තලය ඌනනය I හි ඇති යෝග කලා තලයට ලම්භක වේ.

 

38. ඌනනය II හි වියෝග කලාව II පිළිබඳව විස්තර කරන්න.

    •  
    • සහෝදර වර්ණදේහාංශ එකිනෙක බැඳී ඇති ප්‍රෝටීන බිඳ වැටීම නිසා වර්ණදේහාංශ සෙන්ට්‍රොමියරයෙන් වෙන්ව යයි.
    • ක්ෂුද්‍රනාලිකා කෙටි වීමේ ප්‍රතිඵලයක් ලෙස එක් එක් වර්ණදේහයේ සහෝදර වර්ණදේහාංශ ප්‍රතිවිරුද්ධ ධ්‍රැව දෙසට චලනය වේ.

 

39. ඌනනය II හි අන්ත කලාව II පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්න.

    • න්‍යෂ්ටි ආවරණය හා න්‍යෂ්ටිකාව නැවත සෑදේ.
    • වර්ණදේහ ඉහිල් වෙමින් ක්‍රොමැටීන් බවට පත්වේ.
    • තර්කුව බිඳ වැටේ.
    • ප්‍රවේණිකව සර්වසම නොවන ඒකගුණ දුහිතෘ න්‍යෂ්ටි 4ක් එක් මාතෘ සෛලයකින් සකස්වේ. (ඌනනය I දී සෑදුන සෛල දෙකෙන් ඌනනය II දී එකකින් නව සෛල 2ක බැගින් ඇතිවේ)

 

40. ඉන් අනතුරුව සිදුවන සෛල ප්ලාස්ම විභාජනය පිළිබඳ කරුණු දක්වන්න.

  •  
    • අනූනනයේ දී මෙන්ම මෙහිදී ද සෛල ප්ලාස්ම විභාජනය සිදු වනු ලැබේ.
    • එමගින් ප්‍රවේණිකව සර්වසම නොවූ ඒකගුණ දුහිතෘ සෛල 4ක් නිර්මාණය වේ.
    • සත්ත්ව සෛල වල භේදන ඇලියක් ද, ශාක සෛල වල නම් සෛල තලයක්ද හටගැනීමෙන් සෛල ප්ලාස්ම විභාජනය සිදු වේ.

 

41. ශාක සෛල වල කේන්ද්‍රයිකා හෝ කේන්ද්‍ර දේහය නැත. මෙම සෛල තර්කුව සදාගන්නේ කෙසේද?

    • ශාක සෛල තර්කුව සාදා ගන්නේ සෛල විභාජනයේදී ඒකරාශී වන ක්ෂුද්‍රනාලිකා සංකීර්ණයෙන් ය.

 

42. ඌනන විභාජනයේ වැදගත්කම කුමක්ද?

    • ලිංගික ප්‍රජනනය කරන විශේෂ වල පරම්පරා ඔස්සේ, නියත වර්ණදේහ සංඛ්‍යාවක් පවත්වා ගැනීම සඳහා වැදගත් වේ.
    • පරිණාමයට මඟ පාදන නව ප්‍රවේණික ප්‍රභේදන නිපඳවීම සඳහා වැදගත් වේ.
    • අවතරණය, ප්‍රතිසං‍යෝජනය හා ස්වාධීන සං‍රචනය නිසා ප්‍රවේණික ප්‍රභේදන ඇති වේ.

 

ඌනනය II සම්පූර්ණ ක්‍රියාවලිය

 

අර්බුද, ගඩු සහ පිළිකා

43. සෛල චක්‍රය මෙහෙයවන සාධක මොනවාද?

    • බාහිර හා අභ්‍යන්තර සාධක වේ.
    • මේවා භෞතික හෝ රසායනික සාධක විය හැක.

 

44. පිළිකා සෛල දේහයේ පාලන යාන්ත්‍රණවලට ප්‍රතිචාර දක්වයිද?

    • ප්‍රතිචාර නොදක්වයි.

 

45. පිළිකා සෛල පිළිබඳව කෙටියෙන් දක්වන්න.

    • පිළිකා සෛල, සෛල චක්‍රය යාමනය කරන සාමාන්‍ය සංඥා වලට ප්‍රතිචාර නොදක්වයි/ නොසලකා හරී.
    • මේවා අධිකව බෙදී අනෙක් පටක ද ආක්‍රමණය කරයි.
    • මැඬ පවත්වා ගැනීම සිදු නොකළ හොත් ජීවියා මරණයට වුවද පත්විය හැක.
    • එමෙන්ම පිළිකා සෛල වලට වර්ධක සාධක අවශ්‍ය නොවේ.
    • ඔවුන්ට අවශ්‍ය වර්ධක සාධක ඔවුන් විසින්ම සාදා ගැනීම හෝ වර්ධක සාධක රහිතව සෛල චක්‍රය ඉදිරියට පවත්වාගෙන යෑමට සංඥා ලබා දෙයි.
    • මෙම සෛල වලට පවතින තවත් ලක්ෂණයක් නම්, අසාමාන්‍ය සෛල චක්‍ර පාලන පද්ධතිය යි.

 

46. අර්බුදයක් යනු කුමක්ද?

    • අසාමාන්‍ය සෛල සමූහයක් නිසා ඇතිවන ඉදිමුමයි.

 

47. අර්බුදයක් ඇතිවන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.

    • ගැටලුව ආරම්භ වන්නේ පටකයක ඇති තනි සෛලයක් පරිණාමනය වූ විටයි.
    • මේ ක්‍රියාවලිය සාමාන්‍ය සෛලයක් අසාමාන්‍ය සෛලයක් බවට පත් කරනු ලබයි.
    • දේහයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට එය හඳුනාගැනීමට සහ විනාශ කිරීමට නොහැකි නම්, සෛල ගුණනය වීම මගින් අර්බුදයක් ඇතිවේ.

 

48. අර්බුද වර්ග දෙකකි. ඒ මොනවාද?

    • නිරුපද්‍රව අර්බුද
    • සෝපද්‍රව අර්බුද

 

49. එම ආකාර 2ක වෙන වෙනම පහදන්න.   

a. නිරුපද්‍රව අර්බුද

      • අසාමාන්‍ය සෛල සමූහයක් එම සෛල ඇතිවූ ආරම්භක ස්ථානයේම රැඳීම නිසා ඇතිවන ඉදිමුම නිරුපද්‍රව අර්බුද නම් වේ.
      • බොහෝ නිරුපද්‍රව අර්බුද, අනතුරුදායක ගැටලුවලට හේතු නොවන අතර, ශල්‍යකර්මයක් මඟින් සම්පූර්ණයෙන් ම ඉවත් කළ හැකිය.

    b. සෝපද්‍රව අර්බුද

      • සෝපද්‍රව අර්බුද ආක්‍රමණශීලී වී අවයව එකකට හෝ කිහිපයකට පහර දේ.
      • මේ නිසා සෝපද්‍රව අර්බුදයක් සහිත පුද්ගලයෙකුට පිළිකාවක් ඇතැයි කියනු ලැබේ.

 

50. අර්බුද දේහය පුරා පැතිරෙන්නේ කෙසේද?

    • මුල් අර්බුදයෙන් අර්බුද සෛල ස්වල්පයක් වෙන්වීම වීම සිදුවී, රුධිරවාහිනී හෝ වසා තුළට ඇතුළු වී දේහයේ අනෙක් කොටස් වලට ඇතුළු විය හැකිය. ඒවා ගුණනය වී නව අර්බුදයක් සාදයි.
    • මේ ආකාරයට දේහය පුරාවටම මෙම අර්බුද පැතිරී යා හැක.

 

51. “ස්ථානාන්තරණය” (Metastasis) යනු කුමක්ද?

    • මුල් ස්ථානයේ සිට දුර පිහිටීමකට පිළිකා සෛල පැතිරීමේ ක්‍රියාව.

 

ශාකවල ඇති ගඩු

52. ශාකවල ගඩු ඇතිවන්නේ කෙසේද?

    •  
    • ශාක සෛල වල පාලනය කළ නොහැකි අනූනන විභාජනය නිසා ඇතිවේ.
    • ශාක සෛල විභාජනය පාලනය කරනු ලබන්නේ ඔක්සීන් සහ සයිටොකයිනීන් වැනි ශාක වර්ධක යාමක අතර, නියමිත තුලනය පවත්වා ගැනීමෙනි. මේ සමතුලිතතාව නැති වූ විට ශාක සෛල විභේදනය නොවූ සෛල ස්කන්ධයක් නිපදවයි.
    • ඇතැම් සුවිශේෂී ජීවීන් ආක්‍රමණය කිරීමෙන් පසුවද ශාකවල විවිධ කොටස් මත ගඩු හටගනී.

 

53. ගඩු වලට හේතුවන ජීවීන් කව්රුන්ද?

    • වෛරස්, දිලීර, බැක්ටීරියා, කෘමීන්, මයිටාවන් වැනි ජීවීන්.

 

54. ශාකයක් තුළ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනයට හා විකසනයට හේතු විය හැක්කේ කුමක්ද?

    • ගඩු කාරක, යම් ආකාරයකට ශාකයක වර්ධනය වන පටක ආක්‍රමණය හෝ විනිවිද යාම මීට හේතු වේ.

 

අනූනන විභාජනය පිළිබඳව වැඩිදුරටත් ⇓

ඌනන විභාජනය පිළිබඳව වැඩිදුරටත් ⇓

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet