ව්‍යාපාර අධ්‍යනය08.02 - රක්ෂණ වර්ගීකරණය

08.02 – රක්ෂණ වර්ගීකරණය

පාඩමේ සටහන Download කරගන්න.

රක්ෂණ වර්ගීකරණය

  1. ජීවිත රක්ෂණය
  2. සාමාන්‍ය රක්ෂණය

ජීවිත රක්ෂණය / දීර්ඝ කාලීන රක්ෂණය (Life Insurance)

පුද්ගල ජීවිතයකට ඇති අවදානම් ආවරණය කර ගැනීම සඳහා වූ රක්ෂණයකි. රක්ෂිතයාගේ මරණය හා වෙනත් ශාරීරික උපද්‍රවවල දී රක්ෂිතයාට හෝ යැපෙන්නන්ට මූල්‍යමය ප්‍රතිලාභ ලබා දීම ජීවිත රක්ෂණයේ දී සිදු වේ.

ජීවිත රක්ෂණය සඳහා පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් පහත පරිදි වර්ග කර දැක්විය හැකි ය.

  • පවුල – උපයන්නන්ගේ අභාවයට එරෙහි ව ආරක්ෂාව
  • මහළුවිය – විශ්‍රාම කාලයේ දී ආරක්ෂාව
  • විශේෂ අවශ්‍යතා අකර්මණ්‍යතා – රෝගාබාධ අනතුරු ආදියේ දී
  • ධනය වර්ධනය – ආයෝජන වශයෙන්

ජීවිත රක්ෂණ ආවරණයක් හිමි අයෙකුට හිමි වන ප්‍රතිලාභ

  • ඔප්පුව කල්පිරෙන තෙක් ජීවත් වුවහොත් රක්ෂණ ඔප්පුවේ වටිනාකම හා ප්‍රසාද දීමනා වැනි අනෙකුත් ප්‍රතිලාභ ලබා ගත හැකි වීම.
  • කල්පිරීමට ප්‍රථම මිය ගිය හොත් හෝ අකර්මණ්‍ය වීමක දී යැපෙන්නන්ට වන්දි ලබා ගත හැකි වීම.
  • රක්ෂිතයා ලබා ගෙන ඇති අතිරේක ආවරණ අනුව ලෙඩ රෝග, ශල්‍යකර්ම සඳහා රෝහල් ගාස්තු ආදිය ලබා ගත හැකි වීම.
  • රක්ෂිතයා ගෙවා ඇති වාරික මුදලින් යම් කොටසක් ණයක් ලෙස ලබා ගත හැකි වීම.
  • ඉතිරි කිරීමේ හෝ ආයෝජන මාර්ගයක් ලෙස ද යොදා ගත හැකි වීම.
  • ණයක් ලබා ගැනීමේ දී මූල්‍ය ආයතන වලට ඇපයක් ලෙස රක්ෂණ ඔප්පුව භාවිත කළ හැකි වීම.

ජීවිත රක්ෂණ වර්ග

  1. කාලීන රක්ෂණය
  2. යාවජීව රක්ෂණය
  3. පරිත්‍යාග රක්ෂණය
  4. වාර්ෂික රක්ෂණය

ජීවිත රක්ෂණ ඔප්පුවක් අප්‍රාණික වීම. (Lapsed Policy)

රක්ෂණ ඔප්පු සඳහා ගෙවිය යුතු වාරික මුදල් නියමිත අනුග්‍රාහක කාල සීමාව තුළ ද නොගෙවීම හේතුවෙන් රක්ෂණ ඔප්පුව අක්‍රිය වීම මින් අදහස් කෙරේ.

අප්‍රාණික වූ ජීවිත රක්ෂණ ඔප්පුවක් ප්‍රාණවත් කළ හැකි ආකාර

  • සාමාන්‍ය ප්‍රාණවත් කිරීම.
  • විශේෂ ප්‍රාණවත් කිරීම.

මීට අමතර ව ජීවිත රක්ෂණ ඔප්පුවකට වාරික මුදල් ගෙවීමට නොහැකි වූ අයෙකුට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග දෙකක්ද පවතී.

එනම්,

  • පවාරණ අගය ලබා ගැනීම.
  • ගෙවා නිමි ඔප්පුවක් බවට පත් කිරීම.

ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් ප්‍රචාරණ අගය ලබා ගැනීම හා ගෙවා නිමි ඔප්පුවක් බවට පත් කිරීම අතර පවතින වෙනස්කම්.

පවාරණ අගය ලබා ගැනීම

ගෙවා නිමි ඔප්පුවක් බවට පත් කිරීම

එතෙක් ගෙවා ඇති වාරික වලින් කොටසක් හිමි වේ.

එතෙක් ගෙවූ වාරිකවල ප්‍රමාණයට සරිලන ලෙස ඔප්පුවේ වටිනාකම අඩු කරයි.

රක්ෂණ ගිවිසුම අවලංගු කෙරේ.

මෙහි දී රක්ෂණ ගිවිසුම අවලංගු නොවේ.

 

ජීවිත රක්ෂණය හා සාමාන්‍ය රක්ෂණය අතර වෙනස්කම්

ජීවිත රක්ෂණය

සාමාන්‍ය රක්ෂණය

රක්ෂණයට භාජනය වන විෂය වස්තුව සජීවී පුද්ගල ජීවිතයකි.

රක්ෂණයට භාජනය වන්නේ දේපළක් හෝ වගකීමකි.

හානියක් නොවුනහොත් කල්පිරුණු විට මුදලක් ආපසු ලැබේ.

වන්දි ලැබෙනුයේ හානියක් වුවහොත් පමණි.

දිගු කාලීනය.

කෙටි කාලීනය.

හානිපූර්ණය, දායකත්වය හා ආදේශන මූලධර්ම අදාළ නොවේ.

එම රක්ෂණ මූලධර්ම අදාළ වේ.

පවාරණ අගය ලබා ගත හැකි ය.

පවාරණ අගයක් ලබා ගත නොහැකි ය.

ඉතුරුමකට සමාන වේ.

ඉතුරුමකට සමාන නොවේ.

ජීවිත රක්ෂණ ඔප්පුව පැවරිය නොහැකි ය.

රක්ෂණ ඔප්පුව පැවරිය හැක.

 

සාමාන්‍ය රක්ෂණ වර්ග

  1. ගිනි රක්ෂණය
  2. සමුද්‍රීය රක්ෂණය
  3. සොරබිය රක්ෂණය
  4. රථවාහන රක්ෂණය
  5. ස්වභාවික රක්ෂණය
  6. මාර්ගස්ථ මුදල් රක්ෂණය
  7. මාර්ගස්ථ භාණ්ඩ රක්ෂණය
  8. වගකීම් රක්ෂණය

 

  1. ගිනි රක්ෂණය (Fire Insurance)

ගොඩනැගිලි හෝ එහි ඇති වත්කම් වලට ගින්නෙන් සිදු විය. හැකි හාකි ආවරණය කර ගැනීම සඳහා ලබා ගත හැකි රක්ෂණය ගිනි රක්ෂණය වේ.

ගිනි රක්ෂණය යටතේ ගිනි හානි වලට අමතරව අතිරේක චාරික මුදල් ගෙවීමෙන් තවත් අවදානම් කිහිපයක් ද ආවරණය කර ගත හැකි ය. එනම්,

  • කැරලි කෝලාහල/ වැඩ වර්ජන හානි
  • විදුලිමය ආපදා හානි
  • පිපිරීම් හානි
  • භූමිකම්පා, සුනාමි හානි
  • ජල ගැලීම්, සුළි සුළං කුණාටු හානි
  • ගැටීම් හානි ගුවන්යානා මගින් සිදු වන අනතුරු
  • අනුෂංගික අලාභ හානි
අනුෂංගික අලාභ රක්ෂණය (Consequential Loss Insurance)

ගින්න හා වෙනත් උපද්‍රව නිසා ව්‍යාපාර වලට ඇති විය හැකි ද්‍රව්‍යමය හානියට අමතරව එකී උපද්‍රවය හේතුවෙන් ව්‍යාපාරික කටයුතු අඩාල වීම වැනි හේතු නිසා ඇති වන ලාභ නොලැබී යාම පූර්ණය කර ගැනීම සඳහා ගිනි රක්ෂණයට අනුබද්ධ ව ලබා ගත හැකි රක්ෂණාවරණයකි.

මෙහි අරමුණ වන්නේ අදාළ උපද්‍රවය සිදු නොවුනා නම් රක්ෂිතගේ ව්‍යාපාරයට ලබා ගත හැකි ව තිබූ මූල්‍යමය වාසි තත්ත්වය පූර්ණය කිරීමයි.

සාමාන්‍ය වගන්ති සහිත ගිනි රක්ෂණ ඔප්පුවක දී වන්දි ගෙවන ආකාරය

මෙහි දී යම් දේපළක නියම වටිනාකමත් රක්ෂිත වටිනාකමත් සැලකිල්ලට ගෙන සිදු වූ අලාභයට සමානුපාතිකව වන්දියක් ගෙවනු ලබයි. එය ගණනය කරනුයේ පහත පරිදිය.

වන්දිය =(රක්ෂිත වටිනාකම/නියම වටිනාකම )× අලාභය

සාමාන්‍ය වගන්ති රහිත ගිනි රක්ෂණ ඔප්පුවක දී වන්දි ගෙවන ආකාරය

රක්ෂිත දේපළකට සිදු වන හානියක් සම්බන්ධයෙන් ඌණ රක්ෂණයේ දී වුව ද සිදු · වූ සම්පූර්ණ අලාභය සඳහා ම මෙහි දී වන්දි පිරිනමනු ලබයි.

2. සමුද්‍රීය රක්ෂණය (Marine Insurance)

සමුද්‍රීය කටයුතු සම්බන්ධයෙන් නාවුක යාත්‍රාවට, නෞභාරයට, කාර්ය මණ්ඩලයට හා මගීන්ට සිදු වන හානි, අයවිය යුතු නැව් කුලිය ආදිය අවාරණය කිරීම සඳහා ලබා ගත හැකි රක්ෂණාවරණයකි.

  • නැව්කද රක්ෂණය
  • නැව් බඩු රක්ෂණය
  • නැව් කඳ රක්ෂණය (Hull Insurance)

නාවුක යාත්‍රාවට සිදු විය හැකි හානි ආවරණය කර ගැනීමට නැව් හිමියන්ට ලබා ගත හැකි රක්ෂණාවරණයකි.

නැව් කඳ රක්ෂණය යටතේ ලබා ගත හැකි රක්ෂණ ඔප්පු වර්ග
  • සියලු අවදානම් ඔප්පුව
  • පූර්ණ අලාභය පමණක් ගෙවන ඔප්පුව
  • තොටුපළ ඔප්පුව
  • තැනීම් හානි ඔප්පුව
  • අලුත් වැඩියා ඔප්පුව
නැව් බඩු රක්ෂණය (Cargo Insurance)

නාවුක යාත්‍රාවක ප්‍රවාහනය කරන භාණ්ඩවලට සිදු විය හැකි හානි නිසා ඇති වන අලාභවලට හිමිකමක් දැක්විය හැකි, රක්ෂණීය අයිතියක් ඇති අයට වන්දි ලබා ගත හැකි වන පරිදි ඇති කර ගන්නා රක්ෂණාවරණයකි.

නැව් බඩු රක්ෂණය යටතේ ලබා ගත හැකි රක්ෂණ ඔප්පු වර්ග

  • ඇගයූ ඔප්පුව විවෘත ඔප්පුව
  • අනාගත ආවරණ ඔප්පුව/ අනාගතවරණ ඔප්පුව
සමුද්‍රීය රක්ෂණය යටතේ ආවරණය කර ගත හැකි උපද්‍රව
  • නාවුක යාත්‍රා මුහුදුබත් වීම.
  • අකුණු ගැසීම් හානි
  • ගින්න, පිපිරීම් මගින් වන හානි
  • ගැටීම් හානි
  • ද්වේශ සහගත හානි
  • වැඩ වර්ජන හා කැරලි කෝලාහල නිසා සිදු වන හානි බඩු පැටවීමේ දී හා බෑමේ දී සිදු වන හානි
සමුද්‍රීය රක්ෂණයේ දී නිසර්ග ගණයට (Inherent vice) ඇතුළත් කළ හැකි උපද්‍රව
  • මළකඩ බැඳීම.
  • ස්වයං දහනය
  • භාණ්ඩ ස්වභාවයෙන් ම කුණු වීම හෝ පුස් ඇල්ලීම.
නාවික අපගමනය (Deviations of Voyage)

නාවුක යාත්‍රාවක් ගමන් කළ යුතු නිශ්චිත හෝ පිළිගත් ගමන් මාර්ගයෙන් බැහැරව වෙනත් මාර්ගයක ගමන් කිරීම නාවික අප ගමනයයි.

සාමාන්‍යයෙන් නාවික ආගමනයක දී සිදු වන හානි වෙනුවෙන් රක්ෂකයා වන්දි නොගෙවන අතර සාධාරණ හේතුවක් මත සිදු වන නාවික අපගමනයක දී සිදු වන හානියක දී වන්දි ගෙවනු ඇත.

3. සොර බිය රක්ෂණය (Theft Insurance)

ව්‍යාපාරික ස්ථානවල හෝ නිවාසවල සිදු විය හැකි සොරකම් පිළිබඳ අවදානම ආවරණය කර ගැනීම සඳහා ලබා ගත හැකි රක්ෂණාවරණයකි.

4. මෝටර් රථ රක්ෂණය (Motor Insurance)

රථවාහන අනතුරු වලින් රථවාහන වලටත් වාහනවල ගමන් ගන්නා අයට හා බාහිර පාර්ශ්වයන්ට සිදු විය හැකි හානි සඳහා වන්දි ලබා ගැනීම පිණිස රථවාහන හිමියන්ට ලබා ගත හැකි රක්ෂණාවරණයකි.

මෝටර් රථ රක්ෂණය යටතේ ලබා ගත හැකි ප්‍රධාන රක්ෂණ ඔප්පු වර්ග

   a. සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණ ඔප්පුව/ විස්තීර්ණ රක්ෂණ ඔප්පුව

අදාළ රථයට සිදු වන හානි, රියදුරුට, රථයේ ගමන් ගන්නා මගීන්ට හා භාණ්ඩවලට, බාහිර පුද්ගලයන්ට හා දේපළවලට සිදු වන හානි ආවරණය කිරීම සඳහා වූ රක්ෂණාවරණයකි. මේ යටතේ ගංවතුර, ත්‍රස්තවාදි ක්‍රියා, කැරලි කෝලාහල ආදි තවත් අතිරේක උපද්‍රවයන් ද ආවරණය කර ගැනීම සඳහා ඔප්පුවට ඇතුළත් කර ගත හැකි ය.

   b. තෙවන පාර්ශ්ව ගිනි හා සොරබිය රක්ෂණය

මෙම ඔප්පුව මගින් අදාළ රථයට ගින්නෙන් හා සොරකම් කිරීම් වලින් සිදු වන හානිවලට අමතර ව බාහිර පුද්ගලයන්ට හා දේපළවලට සිදු වන හානි ආවරණය කෙරේ.

   c. අවම තෙවන පාර්ශ්ව රක්ෂණය

තෙවන පාර්ශ්වයන්ට (බාහිර පුද්ගලයන් හා දේපළ) සිදු වන හානි පමණක් මෙමගින් ආවරණය කෙරෙන අතර ඕනෑම මෝටර් රථයක් මාර්ගයක ධාවනයේ යෙදීමට නම් අවම වශයෙන් මෙවැනි රක්ෂණාවරණයක්වත් ලබා ගෙන තිබීම අනිවාර්ය වේ.

5. මාර්ගස්ථ මුදල් රක්ෂණය (Cash in Transit Insurance)

යම් නිශ්චිත ස්ථානයක සිට තවත් ස්ථානයක් වෙත ගොඩබිමෙන් මුදල් ගෙන යාමේ දී ඊට අහඹු සිදුවීම් මගින් සිදු විය හැකි හානි ආවරණය කිරීම සඳහා වූ රක්ෂණය මාර්ගස්ථ මුදල් රක්ෂණයයි.

6. මාර්ගස්ථ භාණ්ඩ රක්ෂණය (Goods in Transit Insurance)

යම් නිශ්චිත ස්ථානයක සිට තවත් ස්ථානයක් වෙත ගොඩබිමෙන් භාණ්ඩ ප්‍රවාහන කිරීම සඳහා ප්‍රවාහන ක්‍රමයට භාණ්ඩ පැටවූ අවස්ථාවේ සිට එම භාණ්ඩ ගොඩබෑම දක්වා වූ අවස්ථාව දක්වා ඊට අහඹු සිදුවීම් මගින් සිදු විය හැකි හානි ආවරණය කිරීම සඳහා වූ රක්ෂණය මින් අදහස් කෙරේ.

7. ගමන් බඩු රක්ෂණය (Baggage Insurance)

විදේශ සංචාරයන්හි දී තමන්ගේ පෞද්ගලික ගමන් බඩු බාහිරාදියට විවිධ උපද්‍රවයන්ගෙන් ඇති විය හැකි හානි ආවරණය කර ගත හැකි රක්ෂණය ගමන් බඩු රක්ෂණයයි.

8. පුද්ගල හදිසි අනතුරු රක්ෂණය (Personal Accident Insurance)

නිශ්චිත කාලයක් තුළ දී පුද්ගලයෙකුට හදිසි අනතුරු වලින් සිදු විය හැකි මරණ, අබලතා සහ ශාරීරික තුවාල ආදිය ආවරණය කිරීම සඳහා ලබා ගත හැකි රක්ෂණ වර්ගයකි.

9. වගකීම් රක්ෂණය (Liability Insurance)

වගකීම් රක්ෂණය යනු දේපළ හෝ ව්‍යාපාර ක්‍රියාකාරකම් නිසා බාහිර පාර්ශ්වයන්ට සිදු විය හැකි අවදානම් ආවරණය සඳහා ඒවායේ හිමිකරුවන් විසින් ලබා ගන්නා රක්ෂණාවරණයකි. (වෙනත් පාර්ශ්වයන්ට සිදු වන පාඩු පිළිබඳ ව ඇති වන වගකීම රක්ෂණය කිරීම.)

වගකීම් රක්ෂණ ඔප්පු වර්ග
  1. නිෂ්පාදිත වගකීම් රක්ෂණය
  2. පොදු (මහජන) වගකීම් රක්ෂණය
  3. සේව්‍ය වගකීම් රක්ෂණය
  4. වෘත්තීය වගකීම් රක්ෂණය

 

    a. නිෂ්පාදිත වගකීම් රක්ෂණය (Product Liability Insurance)

නිෂ්පාදකයන්ගේ භාණ්ඩ පරිහරණය කිරීමෙන් පාරිභෝගිකයන්ට සිදු විය හැකි හානි ආවරණය කර ගැනීම සඳහා නිෂ්පාදකයන් විසින් ලබා ගන්නා රක්ෂණාවරණයකි.

   b. පොදු ( මහජන) වගකීම රක්ෂණය (General/ Public Liability Insurance)

දේපළ හෝ ව්‍යාපාර කටයුතු වලින් පැන නැගිය හැකි අහඹු සිදුවීම් නිසා බාහිර පාර්ශ්වයන්ට (තෙවන පාර්ශ්වයන්ට) සිදු විය හැකි හානි වෙනුවෙන් එම දේපළ අයිතිකරුවන් හෝ ව්‍යාපාරයන් විසින් ලබා ගන්නා රක්ෂණාවරණකි.

   c. සේව්‍ය වගකීම රක්ෂණය (Employer’s Liability Insurance)

සේවයේ යෙදී සිටිය දී සේවකයන්ට සිදු විය හැකි හදිසි අනතුරු හා වෘත්තීය රෝග සඳහා වන්දි ගෙවීමට සේව්‍යයා බැඳී සිටින බැවින් එම අවදානම ආවරණය කර ගැනීම සඳහා සේව්‍යයන්ට ලබා ගත හැකි රක්ෂණාවරණයකි.

   d. වෘත්තීය වගකීම් රක්ෂණය (Professional Liability Insurance)

යම් කිසි වෘත්තීමය ක්‍රියාකාරකම් නිසා බාහිර පාර්ශ්වයන්ට සිදු විය හැකි හානි ආවරණය සඳහා වෛද්‍යවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන් වැනි වෘත්තිකයන්ට ලබා ගත හැකි රක්ෂණාවරණයකි.

 

10. ස්වාභාවික විපත් රක්ෂණය (Natural Disaster Insurance)

මෙය විවිධ ස්වාභාවික උවදුරු වලින් දේපළ වලට සිදු වන හානි ආවරණය සඳහා ලබා ගත හැකි රක්ෂණාවරණයකි.

ප්‍රතිරක්ෂණය(Re-Insurance)

රක්ෂණ ආයතනයක් විසින් භාර ගන්නා ලද රක්ෂණ අවදානමක් එම ආයතනය විසින් තවත් රක්ෂණ ආයතනයක හෝ කිහිපයක රක්ෂණය කිරීම ප්‍රතිරක්ෂණය වේ. මෙලෙස සිදු කිරීමට හැකි වන්නේ රක්ෂණ වගකීම භාර ගන්නා රක්ෂකයන්ට තමන් කාරගන්නා ලද වගකීම සම්බන්ධ ව රක්ෂණ හිමිකමක් පැවතීමය.

ප්‍රතිරක්ෂණයේ වාසි

රක්ෂකයන්ට
  • අවදානම් භාර ගැනීමේ හැකියාව වර්ධනය වීම.
  • රක්ෂණ ආයතන භාර ගත් විශාල වගකීම් වෙනුවෙන් වූ අවදානම් වෙනත් ආයතනයකට පැවරිය හැකි වීම.
  • රක්ෂණ ආයතනවල පැවැත්ම සඳහා ඉවහල් වීම.
රක්ෂිතයන්ට
  • රක්ෂිතයාට තම වන්දි අනිවාර්යයෙන් ම ලබා ගැනීමට අවස්ථාව සැලසීම.
  • රක්ෂණ වාරිකය පහළ යාමට හේතුවක් වීම.
  • වඩා හොඳ සේවාවක් ලබා ගැනීමටත් විවිධ ප්‍රතිලාභ ලබා ගැනීමටත් හැකි වීම.

ද්විත්ව රක්ෂණය (Dual Insurance)

යම් විෂය වස්තුවක් රක්ෂණ ආයතන දෙකක හෝ කිහිපයක රක්ෂකයා විසින් රක්ෂණය කිරීම ද්විත්ව රක්ෂණය වේ.

ද්විත්ව රක්ෂණයේ දී ලබා ගනු ලබන රක්ෂණ ඔප්පු වල වටිනාකම අදාළ විෂය වස්තුවේ වටිනාකම ඉක්මවනු ඇත. නමුත් හාති පූර්ණය මූලධර්මය යටතේ හිමි වන්නේ සිදු වූ හානියට සරිලන වන්දියක් පමණි.

ප්‍රාරක්ෂණය (Underwriting)

විශාල වටිනාකමක් ඇති වත්කමක් සම්බන්ධයෙන් ඇති අවදානමක් කොටස් වශයෙන් වෙන් කර රක්ෂණ ආයතන කිහිපයක් විසින් භාර ගැනීම ප්‍රාරක්ෂණය වේ. අදාළ වටිනාකම කොටස් කර ඒ ඒ රක්ෂණ ආයතනය විසින් ආවරණය කරමින් රක්ෂණය කෙරේ. ඒ ඒ රක්ෂණ ආයතනය භාර ගන්නා වටිනාකම සඳහන් කර එයට එම ආයතනයේ මුද්‍රාව තබා අත්සන් කර අවදානම රක්ෂණය කරන අතර අනතුරක් සිදු වූ විට තමන් භාර ගත් අවදානමේ ප්‍රමාණයට ඒ ඒ රක්ෂණ ආයතන වන්දි ගෙවනු ලබයි.

රක්ෂණ නියෝජිත (Insurance Agent)

රක්ෂකයෙකු වෙනුවෙන් කටයුතු කිරීම සඳහා එම රක්ෂකයා විසින් නිල වශයෙන් පත් කරනු ලබන අතරමැදියන් රක්ෂණ නියෝජිතයන් ලෙස හඳුන්වයි.

රක්ෂණ තැරැව්කරු (Insurance Broker)

රක්ෂිතයෙකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් රක්ෂිතයාගේ නියෝජිතයෙකු ලෙස කටයුතු කරමින් විවිධ රක්ෂණ ආයතනවලින් පහසුකම් සලසා දෙන පාර්ශ්වයන් රක්ෂණ තැරැව්කරුවන් ය.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව

2000 අංක 43 දරණ රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ 2001 වර්ෂයේ දී ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය ස්ථාපිත කරන ලදී. එය පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තය සංවර්ධනය, සුපරීක්ෂණය හා නියාමනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් වශයෙනි.

2017 අංක 23 දරණ රක්ෂණ කර්මාන්තය නියාමත (සංශෝධිත) පනත මගින් එතෙක් පැවති ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ලෙස හඳුන්වන ලදී.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට අයත් කාර්යයන්

  • සියලු ම රක්ෂණ ආයතන ලියාපදිංචි කරමින් බලපත්‍ර ලබා දීම.
  • රක්ෂණ තැරැව්කරුවන් ලියාපදිංචි කරමින් බලපත්‍ර ලබා දීම.
  • රක්ෂණ කර්මාන්තය සංවර්ධනය කිරීම හා විධිමත් කිරීම සම්බන්ධයෙන් රජයට උපදෙස් දීම.
  • රක්ෂණ කර්මාන්තය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • රක්ෂණ අරමුදල් ආයෝජනය පිළිබඳ කඩඉම් නියම කිරීම.

 

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom