ව්‍යාපාර අධ්‍යනය02.00 - සමාජයීය වගකීම හා ආචාරධර්ම

02.00 – සමාජයීය වගකීම හා ආචාරධර්ම

පාඩමේ සටහන Download කරගන්න

 

සමාජයීය වගකීම

“සමස්ත සමාජයේ සහ ප්‍රාදේශීය ජනතාවගේත්, සේවකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වලට ජීවන තත්ත්වය නංවාලීමට සහ රටේ ආර්ථික සංවර්ධනයට දායක වන බවට සදාචාරාත්මක ව හැසිරෙන බවට ව්‍යාපාර අඛණ්ඩ ව කැපවීම ව්‍යාපාරයන්හි සමාජ වගකීමයි.”.

-තිරසර සංවර්ධකයන් සඳහා වන ලෝක ව්‍යාපාරික කවුන්සිලය-

” සිය ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳවත්, එමගින් සමාජයට ඇති වන බලපෑම් පිළිබඳවත් පෞද්ගලිකව ම ව්‍යාපාර වගකීම සමාජ වගකීමයි. “

-ඇඑජ-

“සමාජය තුළ ධනාත්මක බලපෑමක් ජනිත කිරීමට ව්‍යාපාර ක්‍රියාවලිය කළමනාකරණය කරන්නේ කෙසේද? යන්න පිළිබඳ වූ අදහසකි.”

-මැලන් බේකර්-

” ව්‍යාපාරය සමාජයට ආපසු දෙන දෑ සමාජ වගකීමයි.”

-පිලිපීනය-

“ගනුදෙනුකරුවන්, සේවකයන්, සමාජය, රජය හා පරිසරය ආදී සියලු ම උනන්දුවක දක්වන පාර්ශ්වයන්ට සාධාරණ ලෙස කටයුතු කරමින් කොටස් හිමියන්ට උපරිම අගයක් බිහි කර දීම සමාජ වගකීම වේ.”

-නාරායන් මූර්ති-

මේ අනුව ව්‍යාපාරයන්හි සමාජ වගකීම යනු ව්‍යාපාරය වෙත උනන්දුවක් දක්වන සියලු ම පාර්ශ්වයන් කෙරෙහි ඇති බැඳියාවයි. එනම් ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්වයන්ට උපරිම අයුරින් සාධාරණයක් ඉටු වන ආකාරයට කටයුතු කිරීමයි.

එබැවින් සමාජ වගකීම, ව්‍යාපාර වලට සමාජය ගැන සැලකිලිමත් වීමට යොමු කරවන සංකල්පයක් ලෙස පෙනී යන අතර ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් තුළින් ගනුදෙනුකරුවන්ට සේවකයන්ට, අසල්වැසියන්ට හා ස්වභාවික පරිසරයට බලපෑම් ඇති කරන්නේ කෙසේ දැයි යන්න පිළිබඳ ව විමසිලිමත් වීම ව්‍යාපාරයන්හි සමාජ වගකීම වේ.

ව්‍යාපාර කෙරෙහි උනන්වක් දක්වන පාර්ශ්වයන්ට හා පොදුවේ සමාජයට බලපෑම් ඇති කරන බලවේග
  • ගෝලීයකරණය
  • ව්‍යාපාර තරගය
  • විද්‍යුත් ව්‍යාපාර
  • පරිසර දූෂණය
ව්‍යාපාරවලින් සමාජ වගකීම ඉටු විය යුතු ප්‍රධාන පාර්ශ්වයන්
  • අයිතිකරුවන්/ ආයෝජකයන්
  • සේවකයන්
  • ගනුදෙනුකරුවන්
  • සමාජය (රජය, ප්‍රජාව, පරිසරය )
ව්‍යාපාරයකට අයිතිකරුවන් කෙරෙහි ඇති සමාජ වගකීම.
  • සාධාරණ ඉපැයීමක් ලබා දීම.
  • කාර්යක්ෂම හා අවංක ලෙස කළමනා කරණ කටයුතු මෙහෙය වීම.
  • ආයෝජකයන්ගේ ආයෝජනවල සුරක්ෂිත බව සහතික කිරීම.
  • ව්‍යාපාරයකට සේවකයන් කෙරෙහි ඇති සමාජ වගකීම..
  • සමානාත්මතාව
  • සේවක වෘත්තීමය ආරක්ෂාව හා සෞඛ්‍ය සහතික කිරීම.
  • සේවක අයිතිවාසිකම් පිළිබඳ සැලකිලිමත් වීම.
  • සේව්‍ය සේවක සබඳතා වර්ධනය කිරීමට කටයුතු යෙදීම.
ව්‍යාපාරයකට ගනුදෙනු කරුවන් කෙරෙහි ඇති සමාජ වගකීම.
  • සාධාරණ වීම.
  • පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.
ව්‍යාපාරයකට සමාජය කෙරෙහි ඇති සමාජ වගකීම.
  • සේවා නියුක්තියට දායක වීම.
  • ප්‍රජා සත්කාරක සේවා
  • හරිත නිෂ්පාදිත ඉදිරිපත් කිරීම.
  • අපද්‍රව්‍ය කළමනාකරණය
  • බදු ගෙවීම් නොපිරිහෙලා ඉටු කිරිම.
  • පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම.

ව්‍යාපාරයක් පෙලඹිය යුත්තේ ව්‍යාපාරය කෙරෙහි උනන්දු වන සියලු ම පාර්ශ්වයන්ගේ අපේක්ෂාවන් ඉටු වන ආකාරයට සමාජ වගකීම් ඉටු කිරීමට ය. අමතර පිරිවැයක් දැරීමට සිදු වුව ද මෙය වර්තමානයේ ප්‍රවණතාවක් බවට පත් ව ඇත.

සමාජ වගකීම් ඉටු කිරීමෙන් ව්‍යාපාරයකට අත්වන ප්‍රතිලාභ
  • ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීම.
  • ව්‍යාපාරයේ ප්‍රතිරූපය වර්ධනය වීම.
  • ගනුදෙනුකරුවන් තෘප්තිමත් කළ හැකි වීම.
  • ව්‍යාපාරය පිළිබඳ විශ්වාසනීයත්වය තහවුරු වීම.
  • ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ කරා ළඟා වීමට පහසු වීම.
ව්‍යාපාරයකට සමාජ වගකීම් ඉටු කිරීමට සිදු වීමෙන් අත්විය හැකි අහිතකර ප්‍රතිඵල.
  • අමතර පිරිවැයක් දැරීමට සිදු වීම.
  • ව්‍යාපාරයේ ලාභ උපරිමයකට බාධාකාරී වීම.
  • ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවට බාධාකාරී විය හැකි වීම.
මිහිකත සමුළුව (Earth Summit)

(පරිසරය හා සංවර්ධනය පිළිබඳ වූ එක්සත් ජාතීන්ගේ සම්මේලනය – The United Nations Conference on Environment and Development)

මෙය ලොව පුරා පැතිර යන පරිසර දූෂණය අවම කර ගැනීම උදෙසා මූලික වී කටයුතු කරයි.

ක්‍රියා කිරීමට පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් වූවකි. කියෝතෝ සම්මුතිය ද මිහිකත සමුළුව හරහා ඇති කර ගන්නා ලද ප්‍රඥප්තියකි. මෙහි ප්‍රථම සමුළුව ක්‍රි.ව. 1992 දී බ්‍රසීලයේ රියෝද ජැනයිරෝහී දී පැවැත් වූ අතර 2012 වසරේ දී පවත්වන ලද්දේ එම නගරයේ දී ම ය. එය හඳුන්වන ලද්දේ ‘Rio 20’ ලෙසය.

තිරසර සංවර්ධනය

අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොකරමින් වර්තමාන අවශ්‍යතා ළඟා කර ගන්නා වූ සංවර්ධනයයි.

සම්පත් පදනමේ ස්ථාවරත්වය හා අනාගත පරපුරෙහි ප්‍රතිලාභ සඳහා පරිසරය ආරක්ෂා කරමින් සමාජයීය වශයෙන් වගකීමෙන් යුත් ආර්ථික සංවර්ධනය සහතික කිරීම තිරසර සංවර්ධනයයි.

තිරසර සංවර්ධනය ගොඩනැගී ඇති ප්‍රධාන සාධක

තිරසර සංවර්ධනය සඳහා ආර්ථික, සමාජයීය සහ පාරිසරික යන අංශ අතර පැවැතිය යුතු සමබර සම්බන්ධතාව තිරසර සංවර්ධන ත්‍රිකෝණය’ නමැති සංකල්පය මගින් පැහැදිලි කර දක්වයි. එනම් තිරසර සංවර්ධනය ගොඩනැගී ඇත්තේ සමාන වැදගත්කමක් ඇති කුළුණු තුනක් මත ය.

  1. ආර්ථික තිරසර සංවර්ධනය
  2. පාරිසරික තිරසර ආරක්ෂණය
  3. සමාජ තිරසර සංවර්ධනය
ආර්ථික තිරසර සංවර්ධනය (Economic Sustainable Development)

සාම්ප්‍රදායික ව දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් ඇති කිරීම පමණක් නොව මෙහි දී සම්පත් පරිභෝජනය අඩු කර ජීවන තත්ත්වය උසස් කිරීම මගින් වර්තමාන හා අනාගත පරම්පරාවේ සෞභාග්‍ය හා ආරක්ෂාව සැලසීමත් ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදී ධනය උපයමින් හොඳ ජීවන තත්ත්වයක් ලැබීමට ජනතාව බලවන්ත කිරීමත් වැදගත් වේ.

ආර්ථික තිරසර සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන විට ව්‍යාපාර අවධානය යොමු කළ යුතු කරුණු

  • ආර්ථික වර්ධනය හා ස්ථායීතාව
  • කාර්යක්ෂමතාව
  • නිෂ්පාදනය හා පරිභෝජනය
  • සේවා නියුක්තිය
  • සාධාරණ තරගකාරීත්වය

ව්‍යාපාරයකට ආර්ථික තිරසර බව තහවුරු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග

  • රැකියා නිර්මාණය
  • කුසලතා බලගැන්වීම.
  • ප්‍රාග්ධනය කාර්යක්ෂම ව භාවිතය
  • අවදානම් කළමනාකරණය
  • ආර්ථික වර්ධනය බලගැන්වීම.
  • පාර්ශ්වකරුවන්ගේ ප්‍රතිලාභ වර්ධනය දේශීය ආර්ථික වර්ධනය සඳහා ආයෝජනය
  • නවෝත්පාදන හඳුන්වාදීම.
  • තාක්ෂණය දියුණු කිරීම.
  • නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගැන්වීම
  • සේවක සුභසාධනය
පාරිසරික තිරසර ආරක්ෂණය (Environment Sustainable Development)

වාතය, ජලය, ආහාර, නිවාස ආදි මූලික මිනිස් අවශ්‍යතා ගුණාත්මක භාවයෙන් පැවතීම හා ඒවා ආරක්ෂා කර ගනිමින් පවත්වා ගෙන යාම මගින් එකී මූලික අවශ්‍යතා සපුරාලීම පරිසර තිරසර ආරක්ෂණයෙන් අපේක්ෂා කෙරේ.

මිනිස් අවශ්‍යතා සපුරාලීම සඳහා ස්වභාවික සම්පත් පරිසරයෙන් ලබා ගත යුතු අතර නැවත ප්‍රතිස්ථාපනය කළ නොහැකි ස්වාභාවික සම්පත් අරපිරිමැස්මෙන් හා හැකිතාක් අඩුවෙන් මිනිසා විසින් පරිභෝජනය කිරීම මගින් පාරිසරික තිරසර බව ආරක්ෂා කිරීමට හැකි වනු ඇත.

පාරිසරික තිරසර ආරක්ෂණය සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාපාර විසින් අවධානය යොමු කළ යුතු කරුණු.

  • සම්පත් පරිභෝජනය
  • අමුද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය
  • අවදානම් කළමනාකරණය
  • ස්වභාවික හා සංස්කෘතික උරුමයන් සුරැකීම.

ව්‍යාපාරයකට පාරිසරික තිරසර ආරක්ෂණය තහවුරු කිරීමට සිදු කළ හැකි ක්‍රියාකාරකම්.

  • පරිසර හිතකාමී දෑ මිලට ගැනීම.
  • අපද්‍රව්‍ය කළමනාකරණය
  • නිෂ්පාදන ක්‍රියාවලියේ දී අමුද්‍රව්‍ය, බල ශක්තිය, ජලය වැනි සම්පත් සුරකමින් කටයුතු කිරීම.
  • පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම භාවිතය
  • අන්තරාකාරී ද්‍රව්‍ය සුරක්ෂිත ව භාවිත කිරීම.
  • පරිසර හිතකාමී බලශක්ති භාවිතය
  • ජෛව විවිධත්වය සුරැකීමට කටයුතු කිරීම.
  • පාරිසරික නීතිරීති වලට අනුගත ව කටයුතු කිරීම.
  • පරිසර සංරක්ෂණ කටයුතු වල දී රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව කටයුතු කිරීම.

අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා 4R සංකල්පය.

  1. ප්‍රතිචක්‍රීකරණය (Recycle)
  2. නැවත භාවිතයට ගැනීම (Reuse)
  3. ඉවතලන ද්‍රව්‍ය අඩු කිරීම. / භාවිතය අඩු කිරීම. ( පිළිහැකුලුම්) (Reduce)
  4. නැවත ස්ථාපිත කිරීම (Replace)
ප්‍රතිචක්‍රීකරණය

අපද්‍රව්‍ය වෙන් කොට වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍යයක් බවට පත් කිරීම මෙහි දී සිදු වන අතර ද්‍රව්‍ය වල පවතින භෞතික තත්ත්වය වෙනස් කිරීමක් සිදු වේ.

ප්‍රතිචක්‍රීකරණය, දෙආකාරයක නිමැවුම් ලැබෙන සේ සිදු කරයි.

  1. අඩු වටිනාකමක් ඇති අමුද්‍රව්‍ය ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදිත බවට පත් කිරීම. (up cycle) නිදසුන් පිදුරු වලින් කඩදාසි නිපදවීම.
  2. ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදිත අඩු වටිනාකමක් ඇති අමුද්‍රව්‍ය බවට පත් කිරීම. (low cycle)
සමාජ තිරසර සංවර්ධනය (Social Sustainable Development)

තිරසර අනාගතයක් තහවුරු කිරීම සඳහා ජනතාවගේ අවශ්‍යතා හා වුවමනා සාධාරණව සපුරා ගත හැකි විය යුතුය. එනම් මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉහළ ප්‍රමිතියකින් යුතුව ළඟා කර ගත හැකි විය යුතු අතර අන් අයගේ එම අයිතිය දෘෂ්‍ය කිරීම හෝ උල්ලංඝනය කිරීම නොවිය යුතු ය. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් අනාගත පරම්පරාවේ අවශ්‍යතා උල්ලංඝනය නොවන පරිදි වර්තමාන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම මගින් මානව සංවර්ධනය ඇති කිරීම සමාජ තිරසර සංවර්ධනයේ දී සිදු වේ.

සමාජ තිරසර සංවර්ධනය තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමේ දී අවධානය යොමුකළ යුතු කරුණු.

  • ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම.
  • ජනතාවට සමාන අවස්ථා ලබා දීම.
  • සමාජ ඒකාග්‍රතාව ඇති කිරීම.
  • ජාත්‍යන්තර සහභාගීත්වය ලබා ගැනීම.
  • දේශීය සංස්කෘතිය, සම්ප්‍රදායන් හා සිරිත් විරිත් ආරක්ෂා කිරීම.
  • දුගී බව අවම කිරීමට කටයුතු කිරීම.
  • මානව ප්‍රාග්ධනය නඩත්තු කිරීම.
  • මනා සේවක සබඳතාවක් පවත්වාගෙන යාම.

ව්‍යාපාරයකට සමාජ තිරසර සංවර්ධනය තහවුරු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග..

  • මානව විවිධත්වය ගරු කරමින් කටයුතු කිරීම.
  • මානව අයිතිවාසිකම් සුරැකීමට දායක වීම.
  • අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය ආදී අත්‍යවශ්‍ය පහසුකම් සඳහා දායක වීම.
  • සමාජ ආරක්ෂණ කටයුතු වලට දායක වීම.
  • සංස්කෘතික විවිධත්වය ගරු කිරීම හා සුරැකීමට දායක වීම.
  • සමානාත්මතාවෙන් යුතු ව කටයුතු කිරීම හා සම අවස්ථා සැපයීම.
  • නීතිය හා සාමය සුරැකීමට දායක වීම.
ව්‍යාපාර කටයුතු වල අහිතකර බලපෑම්
  • පරිසරය දුෂණය වන පරිදි අපද්‍රව්‍ය බැහැර කිරීම.
  • ස්වාභාවික සම්පත් අපතේ යන පරිදි නිෂ්පාදන කටයුතු සිදු කිරීම.
  • වෙළෙඳ විෂමාචාර සිදු කිරීම.
  • සේවක සුභ සාධනය පිළිබඳ නැඹුරුව අඩු වීම.
  • රටේ සමාජ සංස්කෘතියට නොගැලපෙන දෑ සිදු කිරීම.

ව්‍යාපාර ආරධර්ම(Business Ethics)

ව්‍යාපාර ආචාරධර්ම යනු ව්‍යාපාර තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශව වලට යහපනක් සිදු වන ආකාරයට හොඳ නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමයි.

ව්‍යාපාර ආචාරධර්ම කිහිපයක් පහත වේ.

  • සාධාරණ ව හා අවංක ව තරග කිරීම.
  • සත්‍ය දෑ පමණක් සන්නිවේදනය
  • අන් අයට හානි නොකිරීම

ව්‍යාපාරයක ඒ ඒ ව්‍යාපාර ශ්‍රිත සම්බන්ධයෙන් ආචාරධර්ම පැවතීම බෙහෙවින් වැදගත් වේ. ඒ අනුව ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු, මූල්‍ය කටයුතු, මානව සම්පත් කටයුතු අලෙවිකරණය යන කටයුතු ව්‍යාපාර ආචාරධර්ම වලට අනුකූලව සිදු කිරීමට ව්‍යාපාර යොමු වීම වැදගත් ය.

ව්‍යාපාර ශ්‍රිත සම්බන්ධයෙන් ආචාරධර්ම අනුගමනය කිරීමේ වැදගත්කම.
  1. මෙහෙයුම් කටයුතු
  • මිනිස් පරිභෝජනයට නුසුදුසු යෙදවුම් භාවිතයෙන් වැළකීම. මිනිසාට අහිතකර වන නිෂ්පාදිත නිපදවීම වැළකීම,
  • පරිසර දූෂණය අවම වන ආකාරයට අපද්‍රව්‍ය බැහැර කිරීමට යොමු වීම.
  1. අලෙවිකරණ කටයුතු
  • පාරිභෝගිකයන් නොමඟ යවන ප්‍රචාරන කටයුතු වල යෙදීම වැළකීම
  • පාරිභෝගිකයන් රැවටීමට ලක් නොකිරීම.
  • තරගකාරී ආයතන වලට අහිතකර බලපෑම් හා හානි සිදු නොකිරීම.
  1. මූල්‍ය කටයුතු
  • අනවශ්‍ය ගෙවීම් හා වියදම් පාලනය කර ගත හැකි වීම.
  • මූල්‍ය වංචා වළක්වා ගත හැකි වීම.
  • බදු වංචා, විනිමය වංචා ආදිය සිදු කිරීමට නොපෙළඹීම.
  1. මානව සම්පත් කටයුතු
  • සේව්‍ය සේවක අයිතිවාසිකම් කඩ වීම වළක්වා ගත හැකි වීම.
  • ආයතනය තුළ විනය කඩ කිරීම් සිදු වීම වැළකීම.
  • වෘත්තීය අනාරක්ෂිත බව මග හැරී යාම.
ආචාරධර්ම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්ව

ආචාර ධර්ම ගැන වගකිව යුත්තේ ව්‍යාපාරයේ අයිතිකරුවන් පමණක් නොව කළමනාකරුවන්ට මෙන් ම සෙසු සේවකයන්ටද ආචාරධර්ම පිළිබඳ වගකීමක් ඇත. එපමණක් ද නොව සමාජයේ සෑම පුද්ගලයකුට ම තම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වගකීමක් පවතී.

ව්‍යාපාර ආචාරධර්ම පිළිපැදීමෙන් ව්‍යාපාරයකට අත්වන ප්‍රතිලාභ.
  • ව්‍යාපාරයට හොඳ ප්‍රතිරූපයක් නිර්මාණය වීම.
  • ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය වර්ධනය වීම.
  • ව්‍යාපාරයේ සුමට ක්‍රියාකාරීත්වයක් ඇති වීම.
  • ව්‍යාපාර අක්‍රමිකතා අවම කර ගත හැකි වීම.
  • පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා වීම.
  • සේවක තෘප්තිය හා විශ්වාසය ඉහළ යාම.
  • සේවක ආකර්ෂණය පහසු වීම.
ව්‍යාපාර ආචාරධර්ම පද්ධති (Ethics Codes)

ව්‍යාපාරයකට අදාළව සකස් කර සම්මත කර ගන්නා ආචාර ධර්ම, ලිඛිත ව ඉදිරිපත් කළ විට එය ආචාරධර්ම පද්ධතියක් ලෙස හැඳින්විය හැකි ය. මෙය සමස්ත ව්‍යාපාර ආයතනය ම පිළිපැදිය යුතුය.

ව්‍යාපාර ආචාරධර්ම පද්ධතියක් ගොඩනැගීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු
  • ව්‍යාපාරයේ ස්වභාවය
  • ගනුදෙනුකරුවන් සේවකයන්
  • තරගකරුවන්
  • සංවිධාන සංස්කෘතිය
  • සමාජ සංස්කෘතිය
  • ප්‍රායෝගික බව
ව්‍යාපාර ආචාරධර්ම පද්ධතියකින් ආවරණය වන පාර්ශ්ව.
  • අයිතිකරුවන්
  • සේවකයන්
  • ගනුදෙනුකරුවන්
  • ප්‍රජාව
ව්‍යාපාර ආචාරධර්ම පද්ධතියක වැදගත්කම.

ව්‍යාපාර ආචාරධර්ම පද්ධතියක් මගින් ව්‍යාපාරයේ අයිතිකරුවන්, කළමනාකරුවන් හා සෙසු සේවකයන් විසින් පිළිපැදිය යුතු අගනාකම් ආදිය සඳහා මගපෙන්වීමක් ඉදිරිපත් වන බැවින් ඒවා ආරක්ෂා කිරීමට සියලු ම පාර්ශව බැඳී සිටින අතර ඇති විය හැකි විෂමාචාර වළක්වා ගත හැකි වනු ඇත. තව ද ආචාරධර්ම කඩ කිරීම තුළ දඬුවම් ලැබීමටද ඉඩ ඇත.

කෙසේ වෙතත් ආචාරධර්ම සහ ලාභය යන සාධක දෙක ගතික ලෙස තුලනය කිරීමට ලාභ අරමුණු සහිත ව්‍යාපාර වග බලා ගත යුතු වේ.

 

2 අදහස්

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.